ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව හෙට අධිකාරියට

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාවේ ගෝවා නැවි තාටාකාංගණයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් නිෂ්පාදනය කළ ප්‍රථම අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාව අධිකාරියට පත් කිරීමේ උත්සවය හෙට (02) සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

පස්වරු 04.00ට කොළඹ වරායේ නැගෙනහිර බහලුම් පර්යන්ත්‍රයේදී එම කටයුතු සිදු කිරිමට සංවිධානය කර ඇත. එම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍යවරුන්, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමාසාරිස් තරංජිත් සිං සන්ධු මහතා, ඉන්දියාවේ දකුණු නාවික විධානය භාර ප්‍රධාන ධජ නිලධාරී වයිස් අද්මිරාල් ඒආර් කාර්ව් මහතා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.

මෙම නෞකාවේ විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ අවශ්‍යතාවය අනුව විදේශිය නැව් තැනීමේ ආයතනයක් විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රථම නෞකාව විමය.එමෙන්ම ඉන්දියාව විසින් විදේශ නාවික හමුදාවක් වෙත නිෂ්පාදනය කරන ලද විශාලතම යුධ නෞකාව ලෙසද මෙය වාර්තාගත වේ. මෙම නවීනතම නෞකාව පසුගිය ජුලි 28 වන දින කොළඹ වරායට සේන්දු වු අතර, නාවික සම්ප්‍රදායානුකූල චාරිත්‍ර අනුව නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.

‍මෙම නාවීනතම අධිතාක්ෂණික‍ යුද නෞකාව මගින් ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ මුර සංචාර, සෝදිසි මෙහෙයුම්, මානුෂිය සහන සහ ආපදා ප්‍රතිචාර මෙහෙයුම්, සමුද්‍ර දුෂණ වැලැක්වීමේ මෙහෙයුම් සිදු කිරීමේ හැකියාව පවතී. එමෙන්ම බාහිර ගිනි නිවිමේ මෙහෙයුම් සඳහා සහාය දැක්විමේ හැකියාව ද මෙම නෞකාව සතුය.

නවීන සැහැල්ලු හෙලිකොප්ටර් යානා ගොඩබැස්සවිය හැකි අංගනයක්ද මෙය සතුය. මේ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් නිෂ්පාදනය වන දෙවන අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාව ලබන වසරේදි මෙම නැව් පංතියට එක්විමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *