සකුරා ශාකය සිටවීමේ ව්‍යාපෘතියකට බදුල්ල දිස්ත්‍රික්කය තෝරා ගැනේ

(කොළඹ, ලංකාපුවත්) – ජපානයේ මෙයිජෝ විශ්ව විද්‍යාලය විසින් සකුරා ශාකය සිටවීමේ ව්‍යාපෘතියට බදුල්ල දිස්ත්‍රික්කය තෝරා ගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් විශේෂ ස්තූතිය ජපානයේ මෙයිජෝ විශ්ව විද්‍යාලයට පිරිනමන බව ඌව පළාත් ආණ්ඩුකාර අධිනීතීඥ ඇම්.පී. ජයසිංහ මහතා පැවසීය.

ඌව පළාත් ආණ්ඩුකාරවරයා මෙසේ පැවැසුවේ ශ්‍රී ලංකාවේ දෙවන සකුරා ශාකය ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාල භූමියේ සිටුවීමේ වැඩ සටහනකට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.

තව දුරටත් උත්සවය ඇමතූ ඌව පළාත් ආණ්ඩුකාර ඇම්.පී. ජයසිංහ මහතා  මෙසේ ද පැවසීය.

“ශ්‍රී ලංකාවේ ජේ.ආර්. ජයවර්ධන මහතා දෙවන ලෝක යුද්ධයෙන් පසු විනාශ වූ ජපානය පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමු කරමින් නහී වේරානි වේරානී ……. ගාථාවේ අර්ථය අනුව කටයුතු කිරීම පිළිබඳව අවධාරණය කළා. ශ්‍රීලංකාවේ නායකයකු කළ මේ ප්‍රකාශය පිළිබඳව ජපානය අදටත් අප රටට සළකනවා. ජපානය වැනි දියුණු ආර්ථිකයක් සහිත රටක වැවෙන ශාකයක් වන සකුරා ශාකය ශ්‍රී ලංකාවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හග්ගල ප්‍රදේශයේ සිටුවා තිබෙනවා. දෙවැනි ශාකය අද මෙම විශ්ව විද්‍යාලයේ සිටුවනවා. දැනට හඳුනාගෙන ඇති පරිදි බදුල්ල දිස්ත්‍රික්කයේ මේ සඳහා සුදුසු පරිසරයක් හා කාලගුණ තත්වයක් ඇති දිස්ත්‍රික්කයක් බවයි අනාවරණය වන්නේ. මේ ව්‍යාපෘතිය අනුව ඉදිරි කාලයේදී ඇල්ල සංචාරක නගරයේ සකුරා ශාකය සිටුවීමට ක්‍රියා කිරීමට තීරණය කිරීම ඉතා සුදුසුය. මෙවැනි වැඩසටහනක් සාර්ථක කර ගැනීමට සහය දැක්වූ ජපානයේ මෙයිජෝ විශ්ව විද්‍යාලයේ විදේශීය අධ්‍යයන පීඨයේ අංශ ප්‍රධානී මහාචාර්ය ආනන්ද කුමාර මහතාට මගේ විශේෂ ස්තූතිය පිරිනමනවා.’

මේ අවස්ථාවට සහභාගි වූ ජපානයේ මෙයිජෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ආනන්ද කුමාර මහතා මෙසේ පැවසීය.

“කදුකරයේ වූ මෙම ප්‍රදේශය සකුරා ශාකය සිටුවීමට සුදුසු ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඇල්ල ප්‍රදේශය සංචාරක කර්මාන්තයට ඉතා සුදුසු ප්‍රදේශයකි. මෙම සකුරා ශාකය ඇල්ල ප්‍රදේශයේ වගාකර ඒ තුළින් සංචාරක කර්මාන්තය දියුණු කර ගැනීමට කටයුතු කළ හැකියි. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය මඟින් ලැබෙන ආර්ථික වාසි අත්කර ගැනීමට ඒ තුළින් හැකියාවක් ලැබෙන බව කිව යුතුවේ. මේ පිළිබඳව මම දිය හැකි උපරිම සහයෝගය ලබා දීමට ක්‍රියාකරනවා.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *