ලෙස්ටර්ගේ අවමංගල්‍යය අතරතුර රණමයුර සම්මානය උස්සලා

(කොළඹ, ලංකාපුවත්) – අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට ඉන්දියාවෙන් පිරිනැමුණු ‘රණ මයුර‘ සම්මානය සමග ලබා දුන් රිදියෙන් තැනූ පදක්කම අතුරුදන්ව තිබේ.

එය කිසියම් පුද්ගලයෙකු විසින් සොරකම් කර ඇති බවට සැක කෙරේ.

අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන් වෙනුවෙන් ආගමික වතාවත් ඊයේ (02)පෙරවරුවේ පැවැත්වුණි.

එම අවස්ථාවට විශාල පිරිසක් නිවසට පැමිණ සිටි අතර ඉන් අනතුරුව මෙම සම්මානය අතුරුදන්ව ඇත. මෙය නිවසට පැමිණ සිටි කිසියම් අයෙකු සොරකම් කරන්නට ඇති බවට සැක කෙරේ.

මේ සම්බන්ධයේ පවුලේ ඥාතීන් පොලිසියට පැමිණිලි කර තිබේ. ඒ පිළිබඳ පොලිසිය මේ වන විටත් පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.

ජීවිතේ එක් වරක් පමණක් අද්විතීය සිනමාකරුවෙකුට හිමිවන මෙම පදක්කම 2000 වසරේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාට 31 වන අන්තර් ජාතික ඉන්දීය සිනමා සම්මාන උළෙලේදී පිරිනැමුණේ සිනමාවට ඔහු කළ මෙහෙවර අගයමිනි.

ලෙස්ටර් ජේම්ස් පීරිස් වියතාණන්ගේ අනර්ඝ නිර්මාණයක් ලෙස අවිවාදයෙන් සැලකෙන 1963 වසරේදී තිරගත වූ ‘ගම්පෙරළිය‘ චිත්‍රපටය සඳහා ඉන්දියාවේ තුන්වැනි නවදිල්ලි සිනමා සම්මාන උළෙලේදී ඔහු වෙත රණ මයුර සම්මානය (Golden Peacock Award) පිරිනමනු ලැබීය. එය සිංහල සිනමා කෘතියක් විසින් ජාත්‍යන්තර සම්මානයක් දිනාගත් පළමු අවස්ථාවයි. සත්‍යජිත් රායි, ශ්‍යාම් බෙනගල් යනාදී ජාත්‍යන්තර කීර්තියට පත් කෘතහස්ත චිත්‍රපටකරුවන් විසින් පමණක් දිනාගෙන තිබෙන රණමයුර සම්මානය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වෙත හිමිවීම, සිංහල සිනමාවේ අමරණීය අවස්ථාවක් ලෙසට අවිවාදිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *