(කොළඹ, ලංකාපුවත්) – ‘ළඟම පාසල හොඳම පාසල’ ජාතික වැඩසටහන යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ඉදිකරන ලද, නිකවැරටිය – කොබෙයිගනේ ශ්‍රී පරාක්‍රම ජාතික පාසලේ නව පරිපාලන ඒකකය සහ පන්ති කාමර සහිත තෙමහල් ගොඩනැගිල්ල, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් පසුගිය දා විවෘත කරනු ලැබීය.
අදාළ ව්‍යාපෘතිය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් වෙන් කරන ලද මුලු මුදල රුපියල් මිලියන 20 කට අධිකය. විදුහල්පති කාමරයක්, නියෝජ්‍ය විදුහල්පති කාමර 03 ක්, රැස්වීම් ශාලාවක් මෙන්ම කාර්යාල සේවා කාමරයක් සහ නව පන්ති කාමර රැසකින් ද මෙම අභිනව තෙමහල් ගොඩනැගිල්ල සමන්විතය. අලුතින් ඉදි වූ නව පරිපාලන ඒකකය ද නවීන අංගෝපාංගවලින් සමන්විත වීම විශේෂත්වයකි.
මීට අදාළ උත්සවයට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ, කුමන බාධක පැමිණියත්, රටක් විප්ලවීයව වෙනස් කළ හැකි හොඳම මෙවලම වන අධ්‍යාපනය දියුණු කිරීමට තමන් ඇපකැප වී ක්‍රියා කරන බවය.
කුමන විවේචන එල්ල වූවත් අධ්‍යාපනය දියුණු කිරීමේ සිය වගකීම නොනවත්වාම ඉටු කරන බව ද මෙහිදී අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, වත්මන් රජය, රටේ ජනතාවගේ නිදහස තහවුරු කර ඇති බවට රජයේ ක්‍රියාපටිපාටිය තුළින්ම ඔප්පු කර ඇති බවයි. එහෙත් පසුගිය ඇතැම් රජයන් සමයේ දී දූෂණ චෝදනාවලට ලක්වූවන් අද ශුද්ධවන්තයින් මෙන් කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
පෞද්ගලික මාධ්‍යවලට පවා රජය විවේචනය කිරීමේ වැඩි අවස්ථාවක් දැන් උදාවී ඇති බවත්, ඒ හේතුව නිසාම සමබරතාවයකින් තොරව පවා ඇතැම් මාධ්‍ය අද රජය විවේචනය කරමින් සිටින බවත්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහාතා මෙහිදී පෙන්වා දෙන ලදි.
රජයට පක්ෂපාතී නොවී, අවම මට්ටමින් හෝ ප්රවෘත්ති සමබර කිරීමට කටයුතු කරන ලෙසට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා ලෙස සියලුම මාධ්‍යයන්ගෙන් තමන් ඉල්ලා සිටි බවත් අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, තෙල් මිල සම්බන්ධයෙන් විපක්ෂය විසින් සිදුකරන ඇතැම් ප්‍රකාශ, පටු දේශපාලන අරමුණු මත පදනම්ව සිදුකරන ප්‍රකාශ වන බවයි.
ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම නිසා, තෙල් මිල වැඩි කිරීමට සිදු වූවත්, පසුගිය ඇතැම් රජයන් සමයේ දී මෙන් අසාමාන්‍ය ලෙස තෙල් මිල ඉහළ දැමීමක් වත්මන් යහපාලන රජය විසින් කිසිවිටෙකත් සිදුකර නොමැති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එම රජයන් සමයේ දී එලෙස අධික ලෙස තෙල් මිල වැඩිකිරීමට කටයුතු කළ පුද්ගලයින් දැන් තෙල් මිල වැඩිකිරීමට එරෙහිව වත්මන් රජයට චෝදනා කරමින් සිටින බවයි, අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මෙවන් පටු දේශපාලන අදහස් හේතුවෙන් බොහෝ දෙනෙකු මායාවක් තුළ සිටින බවත්, එම මායාවෙන් පියවි ලෝකයට පැමිණ රටේ සත්‍යය තත්ත්වය දැකබලා ගත යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය.