දුෂණ මැඩලමින් ශ්‍රී ලංකාව බොහෝ දුර පැමිණ තිබෙනවා – ශ්‍රී ලංකාවේ නව අමෙරිකා තානාපති

(කොළඹ, ලංකාපුවත්) –අතීතයේ තිබූ දූෂණය, ගැටුම් හා මර්දනය ප්‍රතික්ෂේප කර ප්‍රතිසංස්කරණ, සංහිඳියාව හා වගවීමේ වැඩසටහනකට ශ්‍රී ලාංකිකයන් 2015 පැවැති ජනාධිපතිවරණයේදී සහාය පළ කිරීමෙන් පසු ශ්‍රී ලංකාව බොහෝ දුරක් ඉදිරියට ගොස් ඇතැයි ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිනී ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය සදහන් කර ඇත.

ඇය මාලදිවයිනේ තානාපතිනිය ලෙස ද කටයුතු කිරීමට නියමිත අතර ශ්‍රී ලංකාව සහ මාලදිවයින වෙනුවෙන් තානාපතිනිය ලෙස පත් කිරීමෙන් අනතුරුව ඇය පසුගිය 28වනදා අමෙරිකා එක්සත් ජනපදයේ විදේශ සබඳතා පිළිබඳ සෙනට් කමිටුවේ ඉදිරියේ මේ බව ප්‍රකාශයක් කර තිබේ.

කෙසේ නමුත් යුක්තිය ඉටු කිරීම හා ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය ඉතා මන්දගාමී බවත් අන්තර් ආගමික හා අන්තර් වාර්ගික හිඩැස පිරවීමේ කටයුතු තවමත් සම්පූර්ණ වී නැතැයි ද ඇය සඳහන් කර ඇත.

මාර්තු මාසයේ ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් විරෝධී කැරලි ඇති වීමේ සිද්ධිය ඉතා දුක්ඛිත තත්ත්වයක් බවත් ඇය පැවසුවාය. අන්තර් වාර්ගික හා අන්තර් ආගමික විසඳුම් ලබා දීමේ අවශ්‍යතාවද ඇය පෙන්වා දී ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව සහ මාලදිවයින ඉන්දු-පැසිෆික් කලාපයේ පුළුල් ආරක්ෂාවක් හා සමෘද්ධිය සඳහා වැදගත් බව ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය අවධාරණය කරනු ලැබේ.

ස්වකීය ස්වාධිපත්‍යය සහ ජාතික අවශ්‍යතා සුරක්ෂිත කර ගනිමින් කලාපීය ස්ථාවරත්වයට වැඩි දායකත්වයක් ලබා දීම සඳහා ශ්‍රී ලංකාව ගනු ලබන උත්සාහයන් සදහා සහයෝගය දැක්විය යුතු බව ද ඇය සදහන් කර තිබේ.

අමෙරිකා එක්සත් ජනපද විදේශ සේවය යටතේ තනතුරු රැසක් හොබවා තිබෙන ඇලයිනා ටෙප්ලිට්ස් ඇෆ්ගනිස්තානය, පාකිස්තානය ඇතුළු දකුණු ආසියානු රටවල් කිහිපයකම රාජකාරීවල නිරත ව තිබේ. අවසන් වරට ඇය නේපාලයේ අමෙරිකා එක්සත් ජනපද තානාපතිය ලෙස කටයුතු කළාය.

මීට පෙර ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපතිවරයා වශයෙන් කටයුතු කළේ අතුල් කෙෂාප් මහතාය. ඔහු 2015 වසරේ සිට මේ වසරේ ජූනි මාසය දක්වා මෙරට සහ මාලදිවයිනේ තානාපතිවරයා වශයෙන් කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *