(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අද (18) විවෘත රාජ්‍ය හවුල්කාරීත්ව සමුළුව ඇමතීමට නියමිතව ඇත.
සමුළුව ජෝර්ජියාවේ ටිබිලිසි සම්මන්ත්‍රණ සහ සමුළු ශාලාවේදී අද ආරම්භ වේ. මෙම හවුල්කාරීත්ව අරමුණු සාක්ෂාත් කරගැනීමට ශ්‍රී ලංකාව මේ වන විට ගෙන ඇති සාධනීය පියවර පිළිබඳ ජනාධිපතිවරයා එහිදී අදහස් පළ කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හය වන ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුවට හා ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසිවාරය සඳහා සහභාගී වීමට ඉතාලියේ සංචාරයක නිරත වූ අතර ඊයේ (17) හෙතෙම ජෝර්ජියාවට පැමිණියේය.
විවෘත රාජ්‍ය හවුල්කාරීත්වය, පුරවැසියන් කෙරෙහි රජය දක්වන විනිවිදබාවය, වගවීම, මහජන සහභාගීත්වය වැඩි දියුණූ කිරීම උදෙසා සැකසුණු යාන්ත්‍රණයකි.
විවෘත රාජ්‍ය හවුල්කාරීත්වය 2011 වර්ෂයේ දී ජාත්‍යන්තර මට්ටමින් විධිමත්ව ස්ථාපිත කෙරුණු අතර වර්තමාන රජය විසින් ගෙන යනු ලබන යහපාලන වැඩපිළිවෙල අගයමින් එම හවුල්කාරීත්වය සමඟ එක් වන ලෙස ලැබුණු ආරාධනයකට අනුව 2015 වර්ෂයේදී ලංකාව එය හා එක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.