(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවට අයත් අනන්‍ය ආර්ථික කලාපය (EEZ)තුළ සිදු කළ මුර සංචාරයක් අතරතුර දී සැක කටයුතු ලෙස බටහිර මුහුදේ යාත්‍රා කරමින් තිබූ ට්‍රෝලර් යාත්‍රාවක් සහ පුද්ගලයින් 21 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන තිබේ.
ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු විය හැකි නීති විරෝධී කටයුතු (Transnational Crime)වැලැක්විම අරමුණු කර ගනිමින් මුර සංචාර සඳහා යොදවා තිබු ශ්‍රී ලංකා නාවික හමුදාවේ බටහිර නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන්ට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (05) මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
හලාවත සිට නාවික සැතපුම් 117 ක පමණ දුරකින් සැක කටයුතු ට්‍රෝලර් යාත්‍රාවක් යාත්‍රා කරන බව නාවික හමුදාව නිරීක්ෂණය කොට ඇති අතර, එම යාත්‍රාව දෙසට නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රා දෙකක් පිටත් කර යැවිමට කටයුතු කර තිබේ.
ඒ අනුව, නීති විරෝධී ලෙස මුහුදු මඟින් සංක්‍රමණය වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී, පිරිමි පුද්ගලයින් දහනවදෙනෙකු (19) සහ කාන්තාවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට පියවර ගෙන තිබේ.
අනතුරුව මෙම පුද්ගලයින් කොළඹ, වරාය වෙත රැගෙන ඒමෙන් පසු ප්‍රථමාධාර සහ වෛද්‍ය පහසුකම් සැපයිමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එම පුද්ගලයින් සහ ට්‍රෝලර් යාත්‍රාව කොළඹ, වරාය පොලීසිය වෙත බාර දීමට කටයුතු කර ඇත.