ජනපතිගෙන් උතුරට පොරොන්දුවක්

(කොළඹ, ලංකාපුවත්) – ආරක්ෂක අංශ භාරයේ පැවති උතුරේ ඉඩම්වලින් සියයට අසූ අටක් පමණ මේ වන විට මුල් පදිංචිකරුවන් වෙත නිදහස් කර අවසන් බවත් ඉතිරි සියයට දොළහක ප්‍රමාණය කඩිනමින් එම ජනතාව වෙත ලබා දීමේ පැහැදිලි ප්‍රතිපත්තිය තුළ රජය කටයුතු කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ මයිලිඩ්ඩි ධීවර වරාය ප්‍රතිසංස්කරණය හා නැවත ක්‍රියාත්මක කිරීමේ සමාරම්භක අවස්ථාවට ඊයේ(22) එක්වෙමිනි.

කන්කසන්තුරේ මයිලිඩ්ඩි ධීවර වරාය ප්‍රතිසංස්කරණය හා නැවත ක්‍රියාත්මක කිරීමේ සමාරම්භක උත්සවය ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

මේ වෙනුවෙන් වැය කෙරෙන මුදල රුපියල් මිලියන 400 කි.

මෙම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළේ රටේ සමස්ත ධීවර කර්මාන්තය සක්‍රීය මාවතකට යොමු කිරීමේ මෛත්‍රී පාලනයක්, ස්ථාවර රටක් වැඩපිළිවෙළ යටතේ ය. සමරු ඵලකය නිරාවරණය කර මයිලිඩ්ඩි ධීවර වරාය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණි.

මයිලිඩ්ඩි ධීවර ජනතාවගේ උපහාරය පුද කරමින් මෙහිදී ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිළිගන්වනු ලැබීය. අනතුරුව ජනාධිපතිතුමා ප්‍රදේශයේ ධීවර ජනතාව සමග සුහද කතාබහක නිරත විය.

රැස්ව සිටි පිරිස අමතමින් ජනාධිපතිතුමා පැවසුවේ තවමත් ආරක්ෂක අංශ භාරයේ පවතින මයිලිඩ්ඩි පාසල ඇතුළු පාසල් කිහිපයකට අයත් ඉඩම් ඉදිරි සති දෙක තුළ නිදහස් කිරීමට පියවර ගන්නා බවයි. මයිලිඩ්ඩි ධීවර වරාය ආශ්‍රිතව ඉඩම් අහිමි වූ ජනතාවටද ඉඩම් ලබාදීම සදහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන බවද ජනාධිපතිතුමා පැවසීය.

අමාත්‍ය විජිත් විජිතමුණි ද සොයිසා, රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අංගජන් රාමනාදන්, කාදර් මස්තාන්, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, විජයකලා මහේෂ්වරන්, මාවෙයි සේනාධිරාජා, ඩී. සිද්ධාර්තන්, එම්. ෙජ්. සිවාජලිංගම් යන මහත්ම මහත්මීන් ඇතුළු උතුරු පළාතේ මහජන නියෝජිතයින් රැසක් සහ ප්‍රදේශයේ ජනතාව මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *