(කොළඹ, ලංකාපුවත්) –සාමාන්‍ය ජනයා සතු කිසිම ඉඩමක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව අත්කර ගෙන නොමැති බව ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති මහතා පවසයි.
මහජනයා මතු ඉඩම් හමුදාවන් විසින් අත්පත් කරගෙන ඇත්නම් ඒ සියල්ල දෙසැම්බර් මස නිමවීමට පෙර මුදාහරින ලෙස ජනාධිපතිතුමා දැනුම්දී ඇති නමුත් ශ්‍රී ලංකා ගුවන් හමුදා සතු වන්නේ රජයට අයත් ඉඩම් පමණක් යැයි ගුවන් හමුදාපතිවරයා මහනුවරදී ප්‍රකාශ කළේය.
ගුවන් හමුදා රණවිරුවන් අනුස්මරණය කිරීමේ බෞද්ධ ආගමික වතාවත් ඊයේ(24) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැති අතර එහිදී දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමෙන් පසු ගුවන් හමුදාපතිවරයා මෙසේ කීවේය.
‘ක්‍රියාන්විත රාජකාරිවලදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සෙබළුන් හාරසිය හතළිස් තුන්දෙනෙකු මරණයට පත්ව තිබෙනවා. රාජකාරීයේදී මරණයට පත්, අතුරුදහන්වූ සහ තුවාල ලැබූ පිරිස් වෙනුවෙන් අපි මේ දානමය පුණ්‍යකර්මය වාර්ෂිකව සිදු කරනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ පළමුවරට ගුවන් හමුදාව සඳහා නව නවීකරණාත්මක මූලධර්ම පද්ධතියක් අපි හඳුන්වා දී තිබෙනවා. වර්ෂ 2020 දී ශ්‍රී ලංකා ගමන් මග පිළිබඳ රජය ගෙන ඇති ප්‍රතිපත්ති හා සමගාමීව වර්ෂ 2025 දී ගුවන් හමුදාවේ ගමන් මග සකස්විය යුතු ආකාරය මෙහිදී සැලසුම් කර තිබෙනවා.’
‘ගුවන් හමුදාවේ පුහුණුවීම් සඳහා මෑතකදී චීනයෙන් සැහැල්ලු ගුවන්යානා හයක් ලබා ගත්තා. ඒ යානා එකළස් කිරීම කළේ ශ්‍රී ලංකාවේදීයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෑතකදී කරන ලද විශාලතම ව්‍යාපෘතියක් වන්නේ ගුවන්යානා එකළස් කිරීමේ අංගණයක් සකස් කිරීමයි. එහි කටයුතු විශාල ප්‍රමාණයක් මේ වනවිට අවසන්. ඒ අනුව ඉදිරියේදී එම අංගණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත කිරීමට නියමිතයි.’
‘රටේ සංවර්ධනය සඳහා ගුවන් හමුදාව විශාල දායකත්වයක් ලබා දෙනවා. මෑතකදී සිදුවූ පිබිදෙමු පොළොන්නරු වැඩසටහනේදී අප හමුදාව ශ්‍රමයෙන් වැඩි දායකත්වයක් ලබා දුන්නා.’
‘මත්ද්‍රව්‍ය පාලනය හා මැඩපවත්වා ගැනීම සඳහා ජනාධිපති කාර්යය සාධක බලකායට අප හමුදාවෙන් විශාල දායකත්වයක් ලැබෙනවා. විවිධ පළාත්වල සිදුකරන කංසා වැනි වගාවන් ගුවනින් නිරීක්ෂණය කර පොලීසිය, විශේෂ කාර්යය බලකාය ආදියට තොරතුරු ලබාදිමේ ක්‍රියාවන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඉතා සාර්ථකව සිදුකරනවා.’
මහනුවර දිගන මාබේරිතැන්නේ ඉදිකිරීමට යෝජිත ගුවන්යානා ගොඩබැස්සවීමේ අංගනය යළි ඉදිකිරීම පිළිබඳව රජයේ අවධානය යොමුවී ඇති බවත් එය දැනුම් දුන් පසු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන බවත් ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.