(කොළඹ, ලංකාපුවත්) –රජයේ රෝහල්වලට ඉදිරි මාස කිහිපය සඳහා අවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණ මිල දී ගැනීමට රුපියල් බිලියන 2ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ලබාදීමට එකඟතාව පළ කළ බව වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා පවසයි.
රජයේ රෝහල්වලට අවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණ හදිසි අවශ්‍යතා මිල දී ගැනීමට මෙම මුදල භාවිතා කරන බව ද ඒ මහතා පැවැසුවේය. රෝගීන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් රජයෙන් ලබාදීමට පියවර ගන්නා බවත් නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ඒ මහතා කීය.
ඇතැම් රෝහල්වල පවතින ඖෂධ නොමැතිකම ඉදිරි සති කිහිපය තුළදී අවසන් කිරීමට හැකි වන්නේ යැයි ද, දැනට පවතින පහසුකම් අනුව රෝගීන්ට උපරිම සේවාවක් රජයේ රෝහල්වලින් ලබාදීමට පියවර ගන්නේ යැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.
ඖෂධ නොමැති බව පවසමින් රෝගීන් රෝහල්වලට බාර නොගෙන සිටීමට කිසිවෙකුට හැකියාවක් නොමැති බවත් එවැනි තීරණයක් ගත හැක්කේ සෞඛ්‍ය ඇමැතිවරයාට හෝ ලේකම්වරයාට හෝ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට පමණක් බවත් ඒ මහතා අවධාරණය කළේය.
මහරගම අපේක්ෂා රෝහලෙන් ප්‍රතිකාර ගන්නා රෝගීන්ට අවශ්‍ය ඖෂධ හැකි ඉක්මණින් සැපයීමට පියවර ගන්නා බවත් රෝහලේ ඖෂධ සම්බන්ධයෙන් පවතින ගැටලු සෞඛ්‍ය ලේකම්වරයාට හෝ අදාළ නිලධාරීන්ට දැනුම් දී නොමැති බවත් ඔහු කීය. මහරගම රෝහලේ රෝගීන්ට අවශ්‍ය ඖෂධ පිළිබඳ පවතින ගැටලු සාකච්ඡා කර විසඳුම් ලබාදීමට සාකච්ඡාවක් පැවැත්වීමට ඊයේ (20) තීරණය කර තිබුණත් රෝහලේ අදාළ වෛද්‍යවරුන් නිවාඩු නිසා සාකච්ඡාව පැවැත්වීමට නොහැකි වූයේ යැයි ද එසේ වුවත් රෝගීන්ට අවශ්‍ය ඖෂධ ලබාදීමට අමාත්‍යාංශය කටයුතු කරන බවත් ඒ මහතා පැවැසුවේය.