(කොළඹ, ලංකාපුවත්) – ගංවතුරෙන් පීඩාවට පත් කිලිනොච්චි, මුලතිව්, වවුනියාව, මන්නාරම දිස්ත්‍රික්කයන්හි ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් අඛණ්ඩව, විධිමත්ව ලබාදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් දී තිබේ.
වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ අනෙකුත් සෞඛ්‍ය සේවක සේවිකාවන් අවශ්‍ය තරම් උතුරු පළාතේ රෝහල්වලට යොමු කර ඇති බවත් දැනට උතුරු පළාතේ කඳවුරු 26ක් ස්ථාපිත කර ඇති අතර එහි රඳවා සිටින පවුල් 2841ක ජනතාවට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් ලබාදීම සිදු කරන බවත් ඇමතිවරයා පැවසුවේය.
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයෙහි පැවැති දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව ඊයේ (27) ප්‍රකාශ කළේය.
කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්කවලට ක්ලෝරීන් පෙති 50,000ක් ලබා දී ඇති අතර TCL කිලෝග්‍රෑම් 1500ක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දී ඇත. ඩොක්සික්ලයින් මිලිග්‍රෑම් 100 පෙති (Doxycline 100 mg tab) 12,000 ක් ද, ගර්භණී මවුවරුන්ට අවශ්‍ය කට්ටල (Maternity kit) 25ක් ද, සනීපාරක්ෂක තුවා 25,200 ක් ද, කුඩා දරුවන් සහ ගැබිනි මවුවරුන්ට අවශ්‍ය ත්‍රිපෝෂ ද ලබා දී ඇත.
යුනිසෙෆ් සංවිධානය සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දුන් සනීපාරක්ෂක උපකරණ තොගයක් ද මුලිතිව් හා කිලිනොචිච් දිස්ත්‍රික්කයන්හි ජනතාවට ලබා දී ඇත. අවතැන් වූ ජනතාවට බෙදාහැරීම සඳහා වියළි ආහාර මලු බොහෝ සංඛ්‍යාවක් ලබාදීමටත්, එම ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය සේවා කටයුතු ඇමැතිවරයා නිරීක්ෂණය කිරීමටත් අනිද්දා (29) නියමිත ය.