(කොළඹ, ලංකාපුවත්) –මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවලට බලපෑ ගංවතුරෙන් හානි වූ ගොවීන්ට උපරිම වන්දි ලබාදීමට කෘෂිකර්ම ඇමති පී. හැරිසන් මහතා පියවර ගෙන ඇත.
මේ යටතේ ගොවිබිම් වගා හානි වන්දි පමණක් නොව ගං වතුරට ගසාගෙන ගිය ගවයින්,එළුවන් සහ කුකුළන් (පශු සම්පත්) සඳහා ද එම හිමිකරුවන්ට සහන සැලසෙනු ඇත.
එම තොරතුරු අනුව වගා හානි පිළිබඳව සොයා බැලීම සඳහා කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති පී. හැරිසන් මහතා පසුගියදා මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල සංචාරය කළ අතර එහිදී ගොවීන් ගංවතුර තත්ත්වය නිසා තමන් මුහුණ පෑ දුෂ්කරතා ඇමැතිවරයා හමුවේ පැවැසූ අවස්ථාවේදී මේ බැව් අනාවරණය කරන ලදි.
ගංවතුරට යටව තිබූ කුඹුරුවල ගොයම් පැළ කුණු වී විනාශ වීම නිසා ද වගා බිම්වලට හානි වී ඇති බව මෙහිදී ඇමැතිවරයා හමුවේ ගොවීන් පවසා ඇති අතර ගංවතුර නිසා වැව් සහ ඇළවේලි රැසක් ද විනාශ වී ඇති බවද පෙන්වා දී ඇත.
එම කරුණු සැලකිල්ලට ගනිමින් ඇමැතිවරයා අමාත්‍යංශ ලේකම්වරයා ප්රමුඛ නිළධාරින්ට උපදෙස් ලබා දී ඇත්තේ හානි වූ වගා බිම් සඳහා කෘෂීකර්ම අමාත්‍යංශය මගින් උපරිම වන්දි මුදලක් ලබා දීමටත් , හානිවූ පශු සම්පත් සංවර්ධනය සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීම මෙන්ම ගංවතුර නිසා විනාශ වී ඇති වැව් සහ ඇළවේලි ප්‍රතිසංස්කරණය කිරීම වාරිමාර්ග අමාත්‍යංශය හරහා වැඩ පිළිවෙළක් සකස් කරන ලෙසත්ය.