මුදල් ඇමති ෆීජි රාජ්‍යය බලා පිටත්ව යයි

(කොළඹ, ලංකාපුවත්) –ආසියානු සංවර්ධන බැංකුවේ 52 වැනි වාර්ෂික මහ සභා රැස්වීමට සහභාගී වීම සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු දූත පිරිස ෆීජි රාජ්‍ය බලා අද(30) පිටත්ව ගොස් ඇත.

මැයි 02වනදා සිට 05වනදා දක්වා එය පැවැත්වෙන බව මුදල් අමාත්‍යංශය නිවේදනය කළේය. ආසියා පැසිපික් කලාපයේ ආර්ථික හා සමාජ සංවර්ධනය පිළිබඳ කරුණු සාකච්ඡා කිරිම එහි අරමුණ වේ. එහි සමාජික රටවල් ගණන 67කි.

ආසියානු සංවර්ධන බැංකු නියෝජිතයන්, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන්, නිරීක්ෂණ රටවල නියෝජිතයන්, ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයන් සේම පෞද්ගලික අංශයේ නියෝජිතයන් සමග අන්‍යෝන්‍ය සබඳතා වර්ධනය කර ගැනීමට මෙම රැස්වීමේ දී සාමාජික රටවල නියෝජිතයන්ට අවස්ථාව ලැබේ.

ආසියා ෆැසිපික් කලාපයේ ආර්ථික සහ සමාජ සංවර්ධනය පිළිබඳ කරුණු සාකච්ඡා කිරීමට ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුව කදිම අවස්ථාවකි.

ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති වෙනුවෙන් ආසියා සංවර්ධන බැංකුව වාර්ෂිකව අමෙරිකා ඩොලර් මිලියන 800ක සහන ණයක් ලබාදෙයි. මේ වසර වෙනුවෙන් ව්‍යාපෘති යෝජනා අටක් සඳහා ඔවුන් ලබාදෙන මුදල අමෙරිකා ඩොලර් මිලියන 815‍වේ.

මෙම මහා සභා රැස්වීම සඳහා මුදල් අමාත්‍යං මංගල සමරවීර මහතා සමගින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, නියෝජ්‍ය ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත රත්නායක සහ ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.එස්. මුදලිගේ යන මහත්වරු ඇතුළු මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද සහභාගී වෙති.

ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුවට සමගාමීව සාර්ක් කලාපීය රටවල මුදල් අමාත්‍යවරුන්ගේ රැස්වීම ද ෆිජි දූපතේ නදී නගරයේ දී මැයි 02 දා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *