ISIS සැකකරුවන් 155 ක් ඉන්දියාවේදී අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –මේ වසරේ ගත වූ මාස 06 ක කාල සීමාව තුළ අයිඑස්අයිඑස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයින් 155 දෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන්දීය ස්වදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ජී කිෂන් රෙඩ්ඩි මහතා ඊයේ (25) එරට පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව ප්‍රකාශ කර තිබෙන අතර , ඉරාකය සහ සිරියාව තුළ තවදුරටත් අයි.එස්. සංවිධානය සමඟ පුහුණුවීම් කටයුතු සිදුකරන ඉන්දීය ජාතිකයින් සිටින බවට ද ඔහු සඳහන් කර තිබේ.

ඉන්දීය පාර්ලිමේන්තුව වෙත ලිඛිත ප්‍රකාශයක් යොමු කරමින් ඉන්දීය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ අයිඑස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ වූ ඇතැම් ප්‍රාන්තවල පුද්ගලයන් පිළිබඳව මධ්‍යම බුද්ධි ඒජන්සිය අවධානයෙන් පසුවන බවෙය.

අයිඑස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ පුද්ගලයන් හා ඊට අනුබල දුන් පිරිස්වලට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය හා පොලීසිය විසින් ගෙන ඇති බවයි, ස්වදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ජී කිෂන් රෙඩ්ඩි ලෝක් සභාව වෙත යැවූ ලිඛිත නිවේදනයේ දැක්වේ.

ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ පිරිස් තම මතවාදය ප්‍රචාරය කිරීම සඳහා සමාජ මාධ්‍ය භාවිත කරයි. ඒ පිළිබඳව ආරක්ෂක අංශ දැඩි අවධානයෙන් පසුවන අතර ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රියා කරන බව ද ඔහු පෙන්වා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *