(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති ලේකම් කාර්යාලය හා මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක් කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහන ඊයේ (01) සිට ලබන 6දා දක්වා ක්‍රියාත්මකවේ.
මොනරාගල දිස්ත්‍රික් ජනතාවගේ මෙතෙක් නොවිසඳුණු ගැටලුවලට විසඳුම් ලබාදෙමින් ග්‍රාමීය මට්ටමින් ජනතාවගේ මහජන අවශ්‍යතා ඉටු කිරීම සඳහා ක්‍රියාත්මක මෙම “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහන් මාලාවට අයත් පස්වැන්න මෙසේ ක්‍රියාත්මක බව මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ප්‍රකාශ කළේය.
ඒ අනුව, මොනරාගල දිස්ත්‍රික්කයට අයත් මොනරාගල, තණමල්විල, මඩුල්ල, කතරගම, බුත්තල, බඩල්කුඹුර, වැල්ලවාය, මැදගම, සියඹලාණ්ඩුව, බිබිල, සෙවනගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11කට අයත් ග්‍රාම නිලධාරි වසම් 319ක් ආවරණය කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
ජනාධිපති ලේකම් කාර්යාලය ක්‍රියාත්මක කරන ප්‍රධාන ජාතික වැඩසටහන් වන ජාතික වකුගඩු නිවාරණය, ග්‍රාම ශක්ති, ජාතික පාරිසරික සංරක්ෂණය, සුරකිමු දරුවන්, ජාතික මත්ද්‍රව්‍ය නිවාරණය, විශේෂ අවශ්‍යතා සහිත සහ වැඩිහිටි ප්‍රජාව සවිබල ගැන්වීම, ස්මාර්ට් ශ්‍රී ලංකා, ජාතික ආහාර නිෂ්පාදනය ආදී වැඩසටහන්වලට අයත් ක්‍රියාකාරකම් රැසක් මෙම සතිය පුරා දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වීමට නියමිතය.
ඊට අමතරව, දිස්ත්‍රික්කයේ ජනතාව කෙරෙහි සෘජුවම බලපාන කෘෂිකර්ම, නිවාස හා ඉඩම්, වෘත්තීය හා සෞඛ්‍ය ගැටලු විසඳීම හා එම ක්ෂේත්රයන්හි සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් දියත් කිරීමට විෂය භාර රේඛීය අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ඌව පළාත් සභාව මගින් කටයුතු යොදා ඇත. ඒ අනුව වැඩසටහනේ සමාරම්භක දිනය වන ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලය මගින් පමණක් වැඩසටහන් 101ක් ක්‍රියාත්මක කරයි. ඌව පළාත් සභාව මගින් ඊයේ ක්‍රියාත්මක කරන වැඩසටහන් සංඛ්‍යාව 37කි. විවිධ රේඛීය අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතන මගින් වැඩසටහන් 271ක් ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව රට වෙනුවෙන් එකට සිටිමු වැඩටසටහන මගින් ඊයේ දින පමණක් (1) ක්‍රියාත්මක කරන සමස්ත වැඩසටහන් සංඛ්‍යාව 409ක් වේ.
“රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික වැඩටසටහන මොනරාගල දිස්ත්‍රික්කයේ 479,000ක් වන ජනතාවට සහන සලසමින් පුරා සතියක් ක්‍රියාත්මක වන අතර, ජූලි 6වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහකතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රගති සමාලෝචන සමාප්ති වැඩසටහන පැවැත්වීමට නියමිතය.