(කොළඹ, ලංකාපුවත්) – “දිරිය මිනිසුන්ගේ සොඳුරු නිවහන“ සමෘද්ධි නිවාස ලොතරැයි ජයග්‍රාහකයන්ට රුපියල් මිලියන 180ක චෙක්පත් ප්රදානය අද (2) පෙරවරු 9ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් ඇමැති දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත් වේ.
වර්ෂ 2002 ආරම්භ කළ සමෘද්ධි නිවාස ලොතරැයි දිනුම් ඇදීමේ වැඩසටහනට අදාළව නිවාස 28,934ක් ලබාදී ඇත. ආරම්භයේ දී එක් නිවසක් සඳහා රුපියල් එක්ලක්ෂ පනස්දහසක් ලබා දී ඇති අතර මේ වන විට එය ලක්ෂ දෙකක් දක්වා වැඩි කර තිබේ. ලොතරැයි දිනුම් ඇදීම හරහා මසකට නිවාස 331ක් ලබා දීමට කටයුතු කරන අතර ඒ සඳහා වැය වන මුදල රුපියල් මිලියන 66.2කි.
විශේෂ අවශ්‍යතා සහිත අය සඳහා සහ ආබාධ සහිත වූවන්ට, නිදන්ගත රෝගවලින් පෙළෙන අය සඳහා ද මෙම මුදල් ආධාරය ලබාදීම විශේෂයක් වන අතර නිවසක් හිමි අයට තම නිවස අලුත්වැඩියා කර ගත හැකි අතර නොඑසේ නම් එම මුදල ස්වයං රැකියා ව්‍යාපාරයක් සඳහා යෙදවිය හැකි බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් කීය.
පූජනීය ස්වාමීන්වහන්සේලා, පූජකවරුන් සහ මෙහෙණින්වහන්සේලා වෙනුවෙන් ලොතරැයි ජයග්‍රහණ හිමි වූ විට ඒ අයට ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අවසරය පරිදි මෙම මුදල් ලබාගත හැකි බවද අමාත්‍යාංශය පැවසීය.