ලංකාවට පැනවූ සංචාරක අවදානම් නිවේදන 80%ක් ඉවත් කරගෙන අවසන්

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සංචාරක අවදානම් නිවේදන නිකුත් කර ඇති රටල්වලින් සියයට 80ක් පමණ වූ රටවල් මේවන විට එම නිවේදන ඉවත්කර ඇතැයි විදේශ කටයුතු ලේකම් රවිනාථ ආරියසිංහ මහතා සදහන් කරයි.

අවදානම් නිවේදන නිකුත් කළ රටවල්වල තානාපති කාර්යාල හරහා එම රටවල ප්‍රධානීන් දැනුවත් කිරීමට පසුගිය මැයිමස 20වනදා සිට රජය වැඩපිළිවෙලක් දියත් කර ඇත.

එම වැඩපිළිවෙල ඉතා සාර්ථක බවත් බොහෝ රටවල් යළි සංචාරක අවදානම් නිවේදන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉවත් කර ගෙන ඇතැයි ද ලේකම්වරයා කියා සිටියේය.

මේ අතර ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සදහන් කර සිටියේ මේ වසරේ මාර්තු මාසයේ සිට ජූනි දක්වා කාල සීමාව තුළ දෛනිකව මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව 66% කින් වර්ධනය වී ඇති බවය. එම කාර්යාංශයේ සභාපති කිෂූ ගෝමස් මහතා කියා සිටියේ පසුගිය ජූනි මාසයේ සංචාරකයින් 2,200 ක් පමණ මෙරටට පැමිණ ඇති බවයි.

එසේම පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරුණු බෝම්බ් ප්‍රහාරවලින් පසුවද ශ්‍රී ලංකාව මේ වසරේදී සංචාරයට සුදුසුම රටවල් අතර මුල් ස්ථානයේ පසුවන බව ලෝ ප්‍රකට ‘ලෝන්ලි ප්ලැනට්’ සඟරාව පසුගියදා ප්‍රකාශ කර තිබීම ද විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *