‘ට්‍රැවල් ඇන්ඩ් ලෙෂර්’ සඟරාව සංචාරයට හොඳම දිවයින ලෙස ශ්‍රී ලංකාව නම් කරයි

(කොළඹ, ලංකාපුවත්) – 2019 වසරේ ලෝකයේ සංචාරය කිරීමට වඩාත් චිත්තාකර්ෂණීය දිවයින ශ්‍රී ලංකාව ලෙස ඇමෙරිකාවේ සංචාරක සහ විනෝදාස්වාද සඟරාවක් වන ‘ට්‍රැවල් ඇන්ඩ් ලෙෂර්’ සඟරාව විසින් නම් කර තිබේ.

ජෛව විවිධත්වයෙන් ඉතා පොහොසත් රටක් වීම, වන ජීවීන්, ජලජ ජීවීන් සහ ආකර්ෂණීය වෙරළ තීරය, ජාතික උද්‍යාන, තේ වගාවන් සහ සුපිරි හෝටල් පහසුකම් හේතුවෙන් ශ්‍රී ලංකාවට මෙම ස්ථානය ලැබී තිබේ. ‘ට්‍රැවල් ඇන්ඩ් ලෙෂර්’ සඟරාව ප්‍රථම වරට පාඨකයන්ගේ ඡන්දයෙන් සකස් කරන ලද ආකර්ෂණීයම දූපත් ලැයිස්තුවේ මුල් තැන ඒ අනුව ශ්‍රී ලංකාවට හිමිව තිබේ.

ග්‍රීක දිවයින් සමූහය, මාල දිවයින, ෆිජී දූපත්, හවායි දූපත් සහ පිලිපීන දිවයින් අභිබවා ශ්‍රී ලංකාව ආකර්ෂණීයම දිවයින බවට පත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයයි. ඒ අනුව ලෝකයේ සංචාරය කළ හැකි හොඳම දූපත් රාජ්‍යය ලෙස ශ්‍රී ලංකාවට සුවිශේෂී තැනක් හිමි වේ.

එම සඟරාව වැඩිදුරටත් සඳහන් කර සිටියේ පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු නැවතත් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය යථා තත්වයට පත්වෙමින් ඇති බවයි. මීට පෙරද ප්‍රකට සංචාරක සඟරාවක් වන ‘ලෝන්ලි ප්ලැනට්’ සඟරාව විසින් ශ්‍රී ලංකාව මේ වසරේ අංක 1 ලොව හොඳම සංචාරක ගමනාන්තය ලෙස තහවුරු කරන ලද්දේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව වීම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *