එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය අද සිට

(කොළඹ, ලංකාපුවත්) – එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක එන්ටප්‍රයිස් ව්‍යවසායකයින්ගේ පාරාදීසය අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රදර්ශනය අද (24) ආරම්භ වෙයි. ඒ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

එන්ටප්‍රයිස් ව්‍යවසායකයින්ගේ පාරාදීසය ප්‍රදර්ශනයේ පළමු වැඩසටහන මොනරාගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණි. එහි දෙවන වැඩසටහන මෙලෙස අනුරාධපුරයේදී පැවැත්වේ.

අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර උද්‍යානයේ දී ප්‍රදර්ශනය පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම්ව පවති. රජරටින් නව ව්‍යවසායකයින් විසිදහසක් බිහි කිරීම ප්‍රදර්ශනයේ අරමුණයි. නව තාක්ෂණය සහ ණය යෝජනා ක්‍රම පිළිබඳ දැනුවත් කිරීම් ඇතුළු අධ්‍යාපනික සහ විනෝදය ලබා ගත හැකි පරිදි ප්‍රදර්ශන කුටි ගණනාවකින් එය සමන්විත වනු ඇත.

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය තුළින් සියලුම ක්ෂේත්‍රවල නියැලෙන වෘත්තිකයන්ට නවීන තාක්ෂණික දැනුම ලබාගත හැකිය. ප්‍රදර්ශන භූමියට පැමිණෙන ජනතාවට පහසු මිලට භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාවද සලසා දී තිබේ. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ශාලාවල නිමි ඇදුම් හා ඇගළුම් තීරු බදු රහිත මිල ගණන්වලට මෙහිදී ලබා ගැනීමට පහසුකම් සලසා ඇත.

ගුවන් යානා අවි ආයුධ සහිත ත්‍රිවිධ හමුදාවේ ආකර්ෂනීය කුටි ඇතුළු කුටි 500 ක් පමණ ප්‍රදර්ශනයට ඇතුළත්ය.

අද ආරම්භ වුණු මෙම ප්‍රදර්ශනය ලබන 27 වනදා දක්වා පැවැත්වෙන අතර පෙරවරු 10 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා එය විවෘතව පවති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *