(කොළඹ, ලංකාපුවත්) – ඌව පළාත කේන්ද්‍ර කර ගනිමින් ඉදි කෙරෙන උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමය මෙම මස 30 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිත බවත් ඒ සඳහා විශාල උත්සවයක් සංවිධානය නොකරන බවත් මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ඩී. එම්. එස්. දිසානායක මහතා පැවසීය.
ඒ අනුව මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණ අලිකොටආර ජලාශය, ඩයරබා ජලාශය, පුහුල් පොළ ජලාශය සහ හඳපානාගල ජලාශයද මෙදින විවෘත වීමට නියමිතය. අලිකොටආර ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 5,200ක් වේ.
කරඳගොල්ල භූගත ජල විදුලි බලාගාරය මඟින් මෙගාවොට් 120ක විදුලිය නිපදවීමට නියමිත අතර එය 2020 වසරේදී සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට නියමිතය. උමා ඔය ද්‍රෝණියේ පාරිසරික හා අනෙකුත් ජල අවශ්‍යතාවලට බලපෑමක් ඇති නොවන අයුරින් එම ද්‍රෝණියේ සිට ජල ඌනතාවයෙන් පෙළෙන දක්ෂිණ කලාපයේ කිරිඳි ඔය ද්‍රෝණියට ජලය ඝන මීටර් මිලියන 145ක් හැරවීම උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ. එමඟින් මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය සහ තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පිහිටි නව ඉඩම් හෙක්ටාර 4,500ක් හා දැනට වගා කෙරෙන ඉඩම් හෙක්ටාර 1,500කට වාරි ජලය සැපයීමත්, ව්‍යාපෘතිය මඟින් ඉදිකෙරෙන මෙගාවොට්. 120ක ධාරිතාවයෙන් යුත් භූගත විදුලි බලාගාරයක් මඟින් ගිගාවොට් 290ක විදුලිය නිපදවා ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමටත් ව්‍යාපෘතිය මඟින් අපේක්ෂා කෙරේ. ඊට අමතරව, ව්‍යාපෘති ප්‍රදේශයේ පානීය හා කර්මාන්ත සඳහා ඝන මීටර් මිලියන 30ක ජලය සැපයීම අපේක්ෂා කෙරෙන අතර ඩයරබා හා පුහුල්පොළ ඉදිකෙරෙන ජලාශ මඟින් බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙළ සහ ඇටැම්පිටිය ප්‍රදේශවල පානීය ජල අවශ්‍යතා සැපයීමද ඊට ඇතුළත් වේ.
ව්‍යාපෘතිය, මූලස්ථායි වැඩ සහ කිරිඳි ඔය ද්‍රෝණිය ආශ්රිත පහළ නිම්න සංවර්ධනය වශයෙන් ප්‍රධාන අංග දෙකකින් සමන්විත වන අතර එහි සමස්ත පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 514.5ක් සමඟ ශ්‍රී ලංකා රුපියල් මිලියන 15,474.25ක් වේ. ව්‍යාපෘතියේ මූලස්ථායි වැඩවල මුළු පිරිවැය ඇස්තමේන්තුව ඇමෙරිකානු ඩොලර් මිලියන 514.5ක් සමඟ ශ්‍රී ලංකා රුපියල් මිලියන 6,122ක් බව මහවැලි සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.