(කොළඹ, ලංකාපුවත්) –ඕවන් ෆෙරල් ඇතුළු එංගලන්ත ක්‍රීඩකයන්ගේ බලාපොරොත්තු බිඳ දැමූ සියා කොල්සිගේ නායකත්වයෙන් යුතු දකුණු අප්‍රිකානු කණ්ඩායම වසර 11කට පසුව ලෝක කුසලාන රග්බි තරගාවලියේ ශූරයන්ට පිරි නමන ‘වෙබ් එලිස්’ කුසලානය දිනා ගත්තේය.
ජපානයේ සත්කාරකත්වයෙන් පැවැති මේ තරගාවලියේ අවසන් මහා තරගය නැරැඹීමට පෙරේදා යෝකොහමා ක්‍රීඩාංගණයට එක්රොක් වූ 70, 000කට අධික ක්‍රීඩාලෝලීන් පිරිසක් මැද සිය ක්‍රීඩා කෞශල්‍ය විදහා දැක්වූ දකුණු අප්‍රිකානුවෝ ලකුණු 32-12කින් එංගලන්තය පරාජය කරමින් දිනා ගත්තේ ඔවුන්ගේ තුන්වැනි රග්බි ලෝක කුසලානයයි. මීට පෙර 1995දී නවසීලන්තය පරදවා පළමුවරට ලෝක රග්බි කිරුළ දිනූ දකුණු අප්‍රිකානු පිල 2007දී කුසලානය දිනාගත්තේ ද මෙවර එංගලන්තය පරාජය කරමිනි. මේ සමගම රග්බි ලෝක කුසලානය තුන්වතාවක් දිනා ගනිමින් වැඩිම වාර ගණනක් ශූරයන් බවට පත්වීමට දකුණු අප්‍රිකාව සමත්වූයේ නවසීලන්තය හා සම තැනට පත්වෙමිනි.
අවසන් මහා තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 12-6කින් පෙරමුණ ගත් දකුණු අප්‍රිකානු පිල ගෝල් 2ක් සහ දඬුවම් පහර 6ක් වාර්තා කරද්දී එංගලන්තයට රැස් කිරීමට හැකිවූයේ දඬුවම් පහර 4ක් පමණි. එය මෙවර තරගාවලියේදි එංගලන්තය උත්සාහක දිනුමක් තැබීමට අසමත්වූ එකම තරගය ද විය.
දඬුවම් පහර 6ම සාර්ථක කරගත් හැන්ඩ්‍රි පොලාර්ඩ් උත්සාහක දිනුම් ද්විත්වයත් ගෝල බවට පත් කරමින් තරගය පුරා ලකුණු 22ක්ම දකුණු අප්‍රිකාවට ලබාදුන් අතර මෙවර තරගාවලියේ වැඩිම සමස්ත ලකුණුලාභියා බවට ද පත්විය. එහි දෙවැනි ස්ථානයට පත්වූයේ අවසන් මහා තරගයේ එංගලන්තය රැස් කළ ලකුණු 12ටම හිමිකම් කියමින් දඬුවම් පහර 4 එල්ල කළ නායක ඕවන් ෆෙරල්ය.
තරගයේ 10 වැනි මිනිත්තුවේදි දඬුවම් පහරක් සාර්ථක කරමින් දකුණු අප්‍රිකාව ලකුණු 3-0කින් පෙරමුණ ගත් අතර 23 වැනි මිනිත්තුවේදි දඬුවම් පහරක් සාර්ථක කරමින් එංගලන්තය ලකුණු සංඛ්‍යාව 3-3කින් සම කළේය. 26 වැනි මිනිත්තුවේදි දකුණු අප්‍රිකාව තවත් දඬුවම් පහරක් සාර්ථක කරමින් 6-3කින් පෙරමුණ ගනිද්දි 35 වැනි මිනිත්තුවේදි එංගලන්තයත් දඬුවම් පහරක් සාර්ථක කරමින් 6-6කින් නැවත තරගය සම කළේය.
එහෙත් ඉන් අනතුරුව තවත් දඬුවම් පහර 2ක් සාර්ථක කරගත් දකුණු අප්‍රිකානු පිල පළමු භාගය නිමාවෙද්දි සිය ලකුණු සංඛ්‍යාව 12 දක්වා ඉහළ දමා ගත් අතර දෙවැනි භාගයේ ආරම්භයේදි 5 වැනි දඬුවම් පහරත් සමග ලකුණු සංඛ්‍යාව 15 දක්වා ඉහළ දමමින් එංගලන්තය දැඩි පීඩනයකට හසු කළේය.
තරගයේ 52 වැනි මිනිත්තුවේදි සාර්ථක කළ දඬුවම් පහරත් සමග සිය ලකුණු සංඛ්‍යාව 9 දක්වා ඉහළ දැමූ එංගලන්තය 60 වැනි මිනිත්තුවේදි සිවුවැනි දඬුවම් පහරත් නායක ෆෙරල් සාර්ථක කිරීමෙන් ලකුණු සංඛ්‍යාව 12 දක්වා ඉහළ දමද්දී ඊට නොදෙවැනි දස්කම් පෑ පොලාර්ඩ් සිය 6 වැනි දඬුවම් පහරින් දකුණු අප්‍රිකානු ලකුණු සංඛ්‍යාව 18 දක්වා ඉහළ දමා තිබිණි.මෙවර තරගාවලියේ වැඩිම උත්සාහක දිනුම්ලාභීන් අතර දෙවැනි තැනට පත්වෙමින් දකුණු අප්‍රිකානුවන්ට අවසන් මහා තරගයේ පළමු උත්සාහක දිනුම ගෙන දීමට 66 වැනි මිනිත්තුවේදි සමත්වූයේ මකසොලි මපිම්පිය. පොලාර්ඩ් විසින් එය සාර්ථකව ගෝලයකට බවට පත් කරමින් සිය කණ්ඩායම ලකුණු 25-12කින් ඉහළට ඔසවා තැබුවේය.
දකුණු අප්‍රිකානුවන්ට කුසලානය තහවුරු කළ උත්සාහක දිනුම 74 වැනි මිනිත්තුවේදි තබනු ලැබුවේ අවසන් පූර්ව තරගයට ක්‍රීඩා නොකළ දකුණු අප්‍රිකානු පිලේ වඩාත්ම දරුණු ආක්‍රමණශීලී ක්‍රීඩකයා වන චෙස්ලින් කොල්බි විසිනි.
මීට වසර 11කට පෙර 2007 තරගාවලියේ එංගලන්තය සමග පැවැති අවසන් මහා තරගය යළි සිහිගැන්වූ දකුණු අප්‍රිකානුවන් ඉතිහාසය නැවත පෙළගස්වමින් මෙවරත් එදා මෙන්ම එංගලන්තය පිල දෙවැනි තැනට ඇද දැමීම කැපී පෙනුණි.