පොළොන්නරුවටත් ඩිජිටල් පුස්තකාලයක්

(කොළඹ, ලංකාපුවත්) – ඩිජිටල් පුස්තකාල ව්‍යාපෘතිය යටතේ (Digital Libraries Project) පොළොන්නරුව මහජන පුස්තකාලය ඩිජිටල්කරණය කෙරේ.

ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය සහ අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව මෙය ක්‍රියාත්මක කර තිබේ.

මෙම පහසුකම් ජනගත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.

මේ යටතේ පොළොන්නරුව මහජන පුස්තකාලය මගින් පාඨකයින්ට ලබා දෙන සේවාවන් රැසක් පුස්තකාල කළමණාකරන පද්ධතිය හරහා ඩිජිටල්කරණය කර ඇත .

මේ අනුව සෑම සාමාජිකයෙකුටම පරිගණක ගත පුස්තකාල සාමාජික අංකයක් හිමිවේ. තවද මෙම ස්වයංක්‍රියකරණය නිසා පොත්පත් තෝරා ගැනීමට වැය වන කාලය ඉතා අවම වී තිබේ. එසේම අන්තර්ජාලය ඔස්සේ නවීන පරිගණක හා ටැබ් යන්ත්‍ර ඔස්සේ පුවත්පත් කියවීමේ පහසුකම මෙන්ම ලොව ප්‍රකට සගරා ශාස්ත්‍රීය ලිපි වාර ප්‍රකාශන පරිශීලනය කිරීමේ පහසුකම පාඨකයින්ට හිමිවේ.

විශේෂයෙන්ම පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතා වර්ධනය වන ආකාරයෙන් සකස් කරන ලද පරිගණක වැඩසටහන් ටැබ් යන්ත්‍ර ඔස්සේ අත්විදීමේ අවස්ථාද මෙහිදී දරුවන්ට උදාවී ඇත.
මෙම ව්‍යාපෘතිය යටතේ කොළඹ මහජන පුස්තකාලය ප්‍රථමයෙන් ඩිජිටල්කරණය කෙරුනු අතර මෙය තෙවැන්නවේ.

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ඩිජිටල් පුස්තකාලය බැගින් ස්ථාපිත කිරීමට නියමිත බවත් ඉදිරියේදී කුරුණැගල බදුල්ල කිරිමැටියාන හා ඕපනායක යන මහජන පුස්තකාල ඩිජිටල්කරණය කිරීමට නියමිත බවත් නියෝජිතායතනයේ වැඩසටහන් කළමනාකරු ශ්‍රියානන්ද රත්නායක මහතා පවසයි.

මෙම අවස්ථාවට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති දීපාල් චන්ද්‍රරත්න අධ්‍යක්ෂජනරාල් ඩබ්ලිව්.සුනිල් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *