මත් ජාවාරම මැඬීමට පාකිස්තාන සහාය ඕනෑ

(කොළඹ, ලංකාපුවත්) – මත් ද්‍රව්‍ය ජාවාරම සහ මත් ද්‍රව්‍ය භාවිතය අප රට මුහුණ පා සිටින බරපතළ උවදුරක් බවත්, මේ ව්‍යසනය පිටු දැකීමට පකිස්තානයේ සහයෝගය අපේක්ෂා කරන බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

ඉස්ලාමීය අන්තවාදයට එරෙහි සටනේ දී ශ්‍රී ලංකාවට සහාය වන ලෙස ද ජනාධිපතිවරයා පාකිස්තාන රජයෙන් ඉල්ලීමක් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කළේ මෙරට සංචාරයක නිරත පාකිස්තාන විදේශ ඇමැති ෂාඩ් මහමුද් කුරේෂි මහතා ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (2) මුණගැසුණු අවස්ථාවේ දීය. මූල්‍යමය ආධාර සොයනු වෙනුවට අප වෑයම් කළ යුත්තේ අන්‍යෝන්‍ය වශයෙන් ඵලදායී පදනම මත වෙළෙඳ හා ආයෝජන ක්ෂේත්‍රයන්හි අඛණ්ඩ ප්‍රගතිය සහතික කිරීම බව පැවැසු ජනාධිපතිවරයා පාකිස්තානයට බුලත් අපනයනය ඊට එක් උදාහරණයක් ලෙස පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පවතින සමීප, මිත්‍රශීලී සහ උණුසුම් සබඳතාවන් තවදුරටත් ශක්තිමත් කර ගැනීම පාකිස්තානයේ බලාපොරොත්තුව බව පාකිස්තාන විදේශ ඇමැති ෂාඩ් මහමුද් කුරේෂි මහතා ප්‍රකාශ කළේය. තමන්ගේ සහ තම රජයේ සුබාශීංසන ජනාධිපතිවරයා වෙත පිළිගැන් වූ පාකිස්තාන විදේශ ඇමැතිවරයා දෙරට අතර ආර්ථික සංවර්ධනය, වෙළෙඳ කටයුතු, ආරක්ෂිත සහයෝගිතාව සහ කලාපීය සහයෝගිතාව යන ක්ෂේත‍්‍රයන්හි ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමෙහිලා පාකිස්තානයේ දැඩි උනන්දුව ප‍්‍රකාශ කළේය.

දැනටමත් දෙරට අතර ඇත්තේ සමීප මිත්‍රශීලී සහ උණුසුම් සබදතාවක්, සහයෝගිතා වපසරිය පුළුල් කර ගනිමින් එය තවදුරටත් ශක්තිමත් කර ගැනීම පාකිස්තානයේ බලාපොරොත්තුව යැයි ද විදේශ ඇමැතිවරයා පැවැසීය. තම රට සතු බෞද්ධ උරුමය සංවර්ධනය කර ආරක්ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමඟ එක්ව ක්‍රියා කිරීමට තම රජය කැමැත්තෙන් සිටින බවද විදේශ ඇමැති කුරේෂි මහතා කියා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා පාකිස්තානයේ සංචාරයක් සඳහා පැමිණෙන තුරු කැමැත්තෙන් බලා සිටින බවත් විදේශ ඇමැතිවරයා කීවේය. පාකිස්තාන විදේශකටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මොහෙමඩ් ෆයිසාල්, ශ්‍රී ලංකාවේ වැඩබලන පාකිස්තාන මහ කොමසාරිස් තන්වීර් අහ්මඩ් මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *