සුදුවෑන් රියදුරන්දෙදෙනා අද ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට

(කොළඹ, ලංකාපුවත්) –හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් සුදුවෑන් රථ‍යෙන් පැහැර ගැනීම් සම්බන්ධ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා හඳුන්වා දුන් සුදුවෑන් රථ රියදුරන් දෙදෙනා අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඉකුත් 13 රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා පැය 72 ක කාලයක් රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

නොවැම්බර් මස 10 වෙනි දින රාජිත සේනාරත්න මහතා හා තවත් දෙදෙනකු විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මිනීමැරීම, පැහැරගෙනයාම, වධහිංසා පමුණුවීම, අතුරුදන් කරවීම, අයුතු සිරකර තැබීම, තොරතුරු ඕනෑකමින් දැනුම් නොදීම, සැකකරුවන්ට නවාතැන්දීම සම්බන්ධයෙන් අනාවරණය කරනු ලබන කරුණු සම්බන්ධව සිදුකරනු ලබන විමර්ශන අනුව රහස් පොලිසිය මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

2019.11.26 දින අංක 1068 කුමාරගේ මාවත, බත්තරමුල්ල පදිංචි සිංහලේ සංවිධානයේ ජාතික සංවිධායක ගංගොඩවිලගේ කුමුදු ප්‍රදීප් සංජීව පෙරේරා රහස් පොලිසියට කරන පැමිණිල්ලක් අනුව මේ විමර්ශන ආරම්භ කර ඇත.

හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත මොවුන් දෙදෙනා මාධ්‍ය සාකච්ඡාවේදී කරුණු අනාවරණය කළ බව සඳහන් කරමින් රහස් පොලිසිය එම මාධ්‍ය සාකච්ඡාවේ සංස්කරණය නොකළ දර්ශන ඇතුළත් වීඩියෝ පට තමන් වෙත ලබාදෙන ලෙසට විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරු වෙත නියෝග නිකුත් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලීම් කර තිබිණි.

දණ්ඩ නීති සංග්‍රහයේ 102, 113/ආ 209, 296, 314, 315, 332, 354, 355, 367 හා 1981 අංක 15 දරන ජනාධිපති තෝරාපත්කර ගැනීමේ පනතේ 83 (01) වගන්ති ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදවල් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය කරුණු වාර්තා කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *