(කොළඹ, ලංකාපුවත්) –සුදු වෑන් රථයකින් පැහැර ගැනීමකට ලක් වූ බවට රංගනයක නිරත වෙමින් රජය අපහසුතාවටත් අපකීර්තියටත් පත්වන අයුරින් කටයුතු කිරීම හා ගොතන ලද සාවද්‍ය සාක්කි ඉදිරිපත් කිරීමේ චෝදනාව මත නීතිපති උපදෙසින් ස්විස් තානාපති කාර්යාලයේ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැති සේවිකාව ඊයේ (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගත කෙරිණි.
ඇයව එසේ අත්අඩංගුවට ගැනුනේ සිව්වැනි දිනටත් ඊයේ (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවය. පෙර දින තුනේ ඇගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වූ කරුණු ඇතුළත් ගොනුවක් නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තිබුණු බවත්, ඒ අනුව ඇයව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලෙස නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබුණු බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකාර ගානියා බැවිනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද එම නිලධාරියා කීය.
පැහැර ගැනීමක් සිදුවූ බවට ඇය සඳහන් කළ සියලු කාරණා විද්‍යාත්මක සාක්ෂිවලින් බොරුවක් බව අනාවරණය වූ බවත් අවසානයේ දී ඇයට ද එය බොරුවක් බවට පිළිගැනීමට සිදුවූ බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
මානසික තත්වය පිළිබඳ විශේෂ පරීක්ෂාවක් කිරීමට ඇයව අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙත ද ඊයේ ( 16) පෙරවරුවේ දී ඉදිරිපත් කළේය. ඇයව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙත යොමුකර තිබුණේ ද අධිකරණ නියෝගයකට අනුවය.
එහිදී ඇයව විශේෂඥ මනෝ වෛද්‍යවරුන්ගෙන් සමන්විත මණ්ඩලයක් පැය හතරකට වැඩි කාලයක් පරීක්ෂා කර තිබේ.
ස්විස් තානාපති කාර්යාලයේ නියෝජිතයන් පිරිසකගේ රැකවරණය සහිතව ඇය පෙරවරු 9ට පමණ අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට පැමිණ ඇත. වෛද්‍ය පරීක්ෂණයෙන් පසු ඇය පිටව ගොස් ඇත්තේ සවස 2ට පමණය. සිව්වැනි දිනට ඊයේ ඇගෙන් ප්‍රශ්න කෙරෙන්නේ වෛද්‍ය පරීක්ෂණයට ඇය පෙනී සිටීමෙන් අනතුරුවය.
ඇය සම්බන්ධයෙන් මානසික වෛද්‍ය වාර්තාව සහ අධිකරණ වෛද්‍ය වාර්තාව අද (17) බොහෝ විට අධිකරණයට ඉදිරිපත් වනු ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස කරයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇගෙන් දින තුනක දී පැය 20කට වැඩි කාලයක් මේ වන ප්‍රශ්නකර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
ඇය ලබාදුන් තොරතුරු සහ ස්විස් තානාපති කාර්යාලය ඇගේ පැහැර ගැනීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් තොරතුරුත් පරස්පර බව පොලිස් මූලස්ථානයේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. ඇය සිය සැමියා සහ දරුවන් සමඟ ස්විට්සර්ලන්තයට පලා යාමේ අරමුණින් සියල්ල කර ඇති බව පෙනී යන බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.