(කොළඹ, ලංකාපුවත්) – චම්පික රණවකට වුවත් රාජිත සේනාරත්නට වුවත් මහින්ද රාජපක්ෂට වුවත් නීතිය සමානව ක්රියාත්මක විය යුතු යැයි තමා දැඩිව විශ්වාස කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
පසුගිය ආණ්ඩුව ඔවුන්ගේ ඇමැතිවරුන් රැකගැනීමට යම් යම් දේ කළ නමුත් අද නීතිය සාධාරණව, අකුරට ඉෂ්ට වන බව පෙන්වා දුන් රාජපක්ෂ මහතා එසේ වුවත් අද සමහරුන් සියල්ල දේශපාලනීකරණය කරමින් රජයට චෝදනාකරමින් සිටින බව ප්රකාශ කළේය.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ප්රකාශ කළේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සමාජ ජාලා ක්රියාකාරිකයන්ගේ එකමුතුවේ සුහද හමුවකට වාද්දුව ප්රදේශයේ දී ඊයේ(22) එක්වෙමිනි. පුද්ගලිකව කෙනකු මාර්ගයේ දී අනතුරට ලක්කිරීමෙන් ඉදිරිපත් වන නඩු යනු දේශපාලන නඩු නොවන බව පැවසූ රාජපක්ෂ මහතා මේ වන විට සියල්ල දේශපාලනීකරණය වී ඇති බවත් පැවසීය. ඇතැම් පුද්ගලයන් පොලීසියට ගෙනගිය විට රජයට චෝදනා කරන කිසිවකුත් ඒ අය අත්අඩංගුවට ගත්තේ කුමන හේතුවක් නිසාදැයි නොසිතන බවත් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. පෙර පැවැති ආණ්ඩුව ඇතැම් අය අත්අඩංගුවට ගත්තේ දේශපාලන හේතු මත නිසා බව පෙන්වා දුන් රාජපක්ෂ මහතා එවැනි අත්අඩංගුවට ගැනීම් නීතිවිරෝධී නිසා තනතුරු නැවත ලබාදිය යුතු යැයි නීතිපතිවරයාම පවසා ඇති බවත් පැවසීය.