26වනදා සුර්යග්‍රහණය පියෙවි ඇසින් බැලිමෙන් වලකින්න

(කොළඹ, ලංකාපුවත්) –ලබන බ්‍රහස්පතින්දා (26) පෙ.ව. 8.10 පමණ සිට පෙ.ව. 11.25 පමණ කාලය තුල පැය තුනකුත් විනාඩි පහළොවකට ආසන්න කාලයක් තුල ශ්‍රී ලංකාවට ඉතා විරල සූර්යග්‍රහණයක් දිස්වේ.

මෙම සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශවලට චන්ද්‍රයා විසින් සූර්ය තැටියෙන් 93 % ක ට වඩා වැඩි ප්‍රමාණයක් ආවරණය වන වලයාකාර සූර්යග්‍රහණයක් ලෙස ද රටේ දකුණු ප්‍රදේශවලට ද චන්ද්‍රයා විසින් සූර්ය තැටියෙන් 85 % ක ට වඩා වැඩි ප්‍රමාණයක් ආවරණය වන අර්ධ සූර්යග්‍රහණයක් ලෙස ද දැකිය හැකිය.

නැවතත් මෙවැනි වලයාකාර සුර්යග්‍රහණයක් අපට දිස්වනුයේ වසර 12 කට පමණ පසු එනම් 2031, මැයි මස 21 වන දා ය. එබැවින් මෙම සූර්යග්‍රහණය ඉතා වැදගත් සූර්යග්‍රහණයක් ලෙස සැලකේ.

ග්‍රහනයක් ඇතිව හෝ නැතිව සූර්යයා දෙස නිසි ආරක්‍ෂිත ක්‍රම භාවිතා නොකර සෘජුව පියෙවි ඇසින් බැලීමෙන් පුර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් අන්ධභාවයට හා වෙනත් ස්ථිර අක්ෂි හානිවලට හේතු විය හැකි බව‍ කොළබ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

මෙම සූර්යග්‍රහණයේ වළයාකාර ග්‍රහණ අවධිය සෞදි අරාබිය, දකුණු ඉන්දියාව, ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශ සහ ඉන්දුනීසියාවේ සමහර ප්‍රදේශවලින් දැකගත හැකිය. යුරෝපයේ, ආසියාවේ සමහර කොටස්, ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශ සහ වයඹදිග ඕස්ට්‍රේලියාවේ වෙසෙන අයට මෙය අර්ධ සූර්යග්‍රහණයක් ලෙස පෙනෙනු ඇත.

මෙම වළයාකාර සූර්යග්‍රහණය ශ්‍රී ලංකාව හරහා ගමන් කරන විට පෘථිවිය මත වැටෙන චාන්ද්‍රයා ගේ පුර්ණ චායව කිලෝමීටර් 128 ක් පමණ විශ්කම්භය ඇති ආසන්න වශයෙන් වෘතාකාර වූ ලපයකි. පෘථිවියේ භ්‍රමණය නිසා එය පෘතුවි පෘෂ්ඨය මත වේගයෙන් ගමන් ගන්නා අතර එහි ගමන මග වැටී ඇත්තේ ශ්‍රී ලංකාවේ උතුරු කොටස හරහාය. මන්නාරම සිට වාකරේ (ත්‍රිකුණාමලයට තරමක් පහල) තෙක් අදින ලද රේඛාවකට ඉහලින් යාපනය තෙක් සිටින අයහට වළයාකාර සුර්යග්‍රහණය ද, ඉන් පහල ගාල්ල හම්බන්තොට දක්වා සිටින අයට අර්ධ සුර්යග්‍රහණ ද දිස්වේ.

කොළඹ නගරයට අර්ධ සූර්යග්‍රහණය උදේ 8.10 සිට නිරීක්ෂණය කළ හැකි අතර, උපරිම ග්‍රහණ අවධිය උදේ 9:36 ට සිදුවන අතර එම අවස්ථාවේදී සූර්යයා චන්ද්‍රයාගෙන් 87.6% ක් පමණ ආවරණය කරයි. සූර්යග්‍රහණය පෙරවරු 11.22 ට අවසන් වේ.

ගාල්ල නගරයට අර්ධ සූර්යග්‍රහණය උදේ 8.11 සිට නිරීක්ෂණය කළ හැකි අතර, උපරිම ග්‍රහණ අවධිය උදේ 9:38 ට සිදුවන අතර එම අවස්ථාවේදී සූර්යයා චන්ද්‍රයාගෙන් 85.5 % ක් පමණ ආවරණය කරයි. සූර්යග්‍රහණය පෙරවරු 11.24 ට අවසන් වේ.

යාපනය නගරයට අර්ධ සූර්යග්‍රහණය උදේ 8.09 සිට නිරීක්ෂණය කළ හැකි අතර ග්‍රහණ අවසානය පෙ.ව. 11.21 ට සිදුවේ. එහිදී වළයාකාර සුර්යග්‍රහණයේ ආරම්භය පෙ.ව. 934 ට ද උපරිම අවස්ථාව පෙ.ව. 9.35 ට ද වළයාකාර ග්‍රහණ අවසානය 9.37 ද සිදුවේ. වළයාකාර ග්‍රහණ උපරිම අවස්ථාවේදී චන්ද්‍රයාගෙන් සූර්යයා 93.4 % ක් පමණ ආවරණය වේ.

යාපනය නගරයටම නොගිය ද වව්නියාව, ත්‍රිකුණාමලය වැනි නගර වල සිට ද වළයාකාර ග්‍රහණ අවස්ථාව නැරබිය හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පැවසීය.

සූර්යයා දෙස සෘජුව බැලීමෙන්, සූර්යග්‍රහණයකදී පවා, ඔබ නිසි අක්ෂි ආරක්ෂාවක් පැළඳ නොසිටින්නේ නම්, අන්ධභාවයට හා වෙනත් ස්ථිර අක්ෂි හානිවලට හේතු විය හැක. සූර්යයා ආරක්ෂිතව නිරීක්ෂණය කිරීමට හෝ සූර්යග්‍රහණයක් නැරඹීමට ඔබට විශේෂ ආරක්ෂිත ඇස් කණ්ණාඩි හෝ සූර්යග්‍රහණ වීදුරු අවශ්‍ය වේ. සාමාන්‍ය අව් කණ්ණාඩි, (පාරජම්බුල කිරණ අවශෝෂණ කරන ඒවා පවා) ඔබේ ඇස් ප්‍රමාණවත් ලෙස ආරක්ෂා නොකරනු ඇත. ඔබ කිසියම් ඡායාරූප උපකරණයක් සමඟ සූර්යග්‍රහණය ලේඛනගත කිරීමට අදහස් කරන්නේ නම්, සූර්යාලෝකයේ ඉතිරි ආලෝක වළල්ල ඔබේ දර්ශනයට හානියක් නොවන බවට වග බලා ගැනීම සඳහා ඔබට එකතු කළ හැකි විශේෂ සූර්ය පෙරහන් තිබේ.

සූර්යග්‍රහණයක් වක්‍රව නිරීක්ෂණය කිරීම සඳහා ආරක්ෂිතම ක්‍රමය, ඔබට නිවසේදී පහසුවෙන් සාදා ගත හැකි සිදුරු කාච (පින්හෝල්) කැමරාවක් භාවිතා කිරීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *