MAS Holdings සමූහයට නව ප්‍රධාන විධායක නිලධාරීවරයෙක්

(කොළඹ, ලංකාපුවත්) – MAS Holdings සමූහයේ නව ප්‍රධාන විධායක නිලධාරී වරයා ලෙස, 2020 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සුරේන් ප්‍රනාන්දු මහතා පත්කර තිබේ. ඒ අනුව ඒ මහතා, දකුණු ආසියාවේ විශාලතම ඇඟලූම් නිෂ්පාදන සමාගම වන MAS Holdingsසමූහයට නායකත්වය දෙන, නිර්මාතෘ වරුන්ගේ පවුලේ සාමාජිකයෙකු නොවන ප්‍රථම ප්‍රධාන නිලධාරී වරයා බවට පත්වී සිටී.

සමාගමේ වේගවත් වර්ධනයට සහ 2025 වසර සඳහා වන දැක්මට සමගාමීව නව ගමනක ආරම්භය සනිටුහන් කරමින් මෙම පත්වීම සිදුකර තිබේ.

සුරේන් ප්‍රනාන්දු මහතා මීට පෙර MAS Holdings සමූහයේ විශාලතම අනුබද්ධ ආයතනය වන MAS Intimates හි ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළ අතර එම ආයතනය ඇමරිකානු ඩොලර් 800 ක වටිනාකමින් යුත් දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්කිරීම සඳහා පෙරමුණ ගෙන කටයුතු කළේ ය. මීට අමතරව වසර 20කට අධික සාර්ථක වෘත්තීය ජීවිතයක් තුළ ඒ මහතා සුවිශේෂී සන්ධිස්ථානරාශියක් සනිටුහන් කරගෙන තිබේ.

නව ප්‍රධාන විධායක නිලධාරී වරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්, MAS Holdings සමූහයේ සම නිර්මාතෘ සහ සභාපති මහේෂ් අමලියන් මහතා මෙසේ පැවසී ය. “නායකත්වයේ ඇතිවූ මෙම වෙනස MAS Holdings සමූහයේ නව යුගයක ආරම්භයක් ලෙස හැඳින්වීමට පුළුවන්. ඉදිරියේදී අපගේ ව්‍යාපාරයේ කටයුතුතවදුරටත් වර්ධනය කිරීමට මෙන්ම නවමානයන්ට පිවිසෙමින් නව අවස්ථාවන් ග්‍රහණය කරගැනීමටත් අප බලාපොරොත්තු වනවා. පසුගිය වසර 33 පුරාම විශිෂ්ටයන්ගේ හැකියාවන් වර්ධනය කරවීම සඳහා අප අඛණ්ඩව ආයෝජනයන් සිදුකළා. දැන් ඔවුන් ලොව ඇඟලූම්ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් අතරට අපගේ සන්නාමය රැගෙන යාමේ මෙහෙවර සඳහා පෙරමුණ ගැනීමට සූදානමින් සිටිනවා.“

මහේෂ් අමලියන්, අජේ අමලියන් සහ ශරාඩ් අමලියන් යන මහත්වරුන් පසුගිය වසර 33 ක කාලය තුළ MAS Holdings සමූහයේ විවිධ ඉහළ තනතුරු දරමින් එය අතිශය සාර්ථක සමාගමක් බවට පත්කළහ. ඔවුන්ගේ නායකත්වය යටතේ සමාගම ලොව රටවල් 16 ක් වෙත ව්‍යාප්ත වූ, 99,000 කට අධික පිරිසකගේ දායකත්වය සහිත දැවැන්ත සමාගමක් බවට පත්විය.

අද වනවිට MAS Holdings සමූහය ලොව ඇඟලූම් හා රෙදිපිළි සැපයුම් ක්ෂේත්‍රයේ ජනප්‍රියතම සමාගමක් බවට පත්වී ඇති අතර එහි ව්‍යාපාර කටයුතු දිනෙන් දින පුළුල් වෙමින් පවතී. ශ්‍රී ලංකාවේ ආර්ථීකයට දැවැන්ත දායකත්වයක් ලබාදෙමින් සිටින එම සමාගම අඛණ්ඩව වසර දෙකක් ජනාධිපති අපනයන සම්මාන උළෙල වලදී ‘වසරේ විශිෂ්ටතම අපනයන සමූහ ව්‍යාපාරය‘ සම්මානයෙන් පිදුම් ලැබී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *