(කොළඹ, ලංකාපුවත්) –එළඹෙන අගෝස්තු මස පළමුවැනිදා සිට විදෙස් සංචාරකයන් පිළිගැනීමට ශ්‍රී ලංකාව සූදානම් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියයි.
ඒ අනුව අගෝස්තු මස පළමුවැනිදා සිට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ විසින් ලබා දී තිබෙන ආරක්ෂිත මාර්ගෝපදේශන හා පූර්ව ආරක්ෂක පියවරයන් සියල්ල අනුගමනය කරමින් විදෙස් සංචාරකයන්ට රට විවෘත කිරීමට පියවර ගන්නා බව සංචාරක හා ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කරයි.
ලෝකයේ ඕනෑම රටක සංචාරකයන් පිළිගන්නා ශ්‍රී ලංකාවට කණ්ඩායම් වශයෙන් පැමිණීමේ හැකියාව තිබෙන අතර ඒ අනුව කණ්ඩායම් වශයෙන් පැමිණීමේ දී ඔවුන් සම්බන්ධයෙන් සොයා බැලීමේ හැකියාව පවත්න බවද එළඹෙන අගෝස්තු මස පළමුවැනිදා සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ, මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ රත්මලාන ගුවන් තොටුපළ සංචාරකයන් වෙනුවෙන් මෙහෙයුම් කටයුතු සිදුකරන බවද ඒ මහතා පෙන්වා දෙයි.
වලංගු වීසා බලපත්‍රයක් සහිත සංචාරකයන් සඳහා දින 30ක කාලයක් වෙනුවෙන් වීසා බලපත්‍රය නිකුත් කෙරෙන අතර මෙරටට පැමිණි පසුව එය මාස හයක කාලයක් දක්වා දීර්ඝ කරගත හැකිවනු ඇත. ඊට අමතරව http://www.eta.gov.lk/slvisa/ අන්තර්ජාලයට පිවිස වීසා ලබා ගැනීමේ හැකියාව ද පවතින අතර වීසා ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 100ක් පමණ වෙයි.
ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන් සියලු දෙනා මෙරටට පැමිණීමට පෙර පැය 72ක් ඇතුළත ලබාගත් පී.සී.ආර් පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කළයුතු වන අතර ගුවන් තොටුපළ තුළ ඉහළ සනීපාරක්ෂක පියවරයන් ක්‍රියාත්මක වන බවද කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන්නේ නම් මෙරට දී නිරෝධායනය වීමේ අවශ්‍යතාවයක් නොමැති බවද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පෙන්වාදෙයි.
ගුවන් තොටුපළට පැමිණි පසුව පී.සී.ආර් පරීක්ෂණයක් සිදුකළ හැකි අතර කිසිදු ගාස්තුවක් අය නොකරන බවද පැය 24ක් තුළ එම පරීක්ෂණයේ වාර්තා නිකුත් කරන බවද පවසන එම අධිකාරිය එළඹෙන අගෝස්තු මාසය වනවිට මෙවැනි පරීක්ෂණ වාර්තා පැය 4ත් 6ත් අතර ලබාගැනීමේ හැකියාව පවතිනු ඇතැයි ද පවසයි. මෙලෙස ලබාගන්නා පී.සී.ආර් පරීක්ෂණයහි ප්‍රතිඵල ලැබෙන තෙක් කොළඹ හෝ මීගමුවේ පිහිටි තරු පංතියේ හෝටල් වෙත සංචාරකයන් යොමු කරන අතර එයින් අනතුරුව සහතික කරන ලද නවාතැනට ගිය පසුව දින 4ක් හෝ 5ක් ඇතුළත නැවතත් මෙවැනි පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතයි.
මේ අතර දින 10 ට වැඩි කාලයක් මෙරට රැඳී සිටින විදෙස් සංචාරකයන් තුන්වැනි පරීක්ෂණයක් ද සිදුකළ යුතුවන අතර එය තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බවද එම පරීක්ෂණය අයහපත් වන්නේ නම් අදාළ නවාතැනේ නිරෝධායනය කිරීම හෝ රෝහල් ගතකිරීම සිදුකරන බවද නිරෝධායනය වන්නේ නම් එය දින 14ක් 21ක් පමණ වන බවද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි.