ප්‍රධාන දේශපාලන පක්ෂයක් බෙදුම්වාදී මූලධර්ම වැපිරවීම භයානකයි

(කොළඹ, ලංකාපුවත්) – රටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් එළිපිටම බෙදුම්වාදී මූලධර්ම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කිරීම අතිශයින් බරපතළ කාරණයක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජාතිවාදය මුල් කොට ගත් දේශපාලනය මෙරට ජනතාව විසින් පසුගිය ජනාධිපතිවරණයේදී පරාජයට පත් කරන ලද බව පවසන අග්‍රාමාත්‍යවරයා පටු ජාතිවාදයටත් කප්පම්කාරී දේශපාලනයටත් තිත තැබීම සඳහා ජනාධිපතිවරණයේදී දුන් ජනවරමටත් වඩා ප්‍රබල ජනවරමක් මෙම පාර්ලිමේන්තු මැතිවරණයේදී ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කරනුයේ 2019 ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා ලෙසින් සජිත් ප්‍රේමදාස මහතා ‘ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට සීමාවක් නැත, එක්ව ගමන යමු’ තේමාව ඔස්සේ ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කරමින් නිකුත් කරන ලද ‘ජාතිවාදීන්ගේ බළල් අතක් වූ සමඟි ජනබලවේගය’ මැයෙන් වූ මාධ්‍ය නිවේදනය මඟිනි. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් යෝජනා සහ 2019 වසරේ දී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කරන ලද නව ව්‍යවස්ථා කෙටුම්පත අතර කිසිදු වෙනසක් නැති බවත් අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනය මගින් පෙන්වා දෙයි.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අන්තර්ගතය සම්බන්ධයෙන් දැනුවත් කිරීමකින් තොරව මහා නාහිමිවරුන්ට සහ අනු නාහිමිවරුන්ට පිළිගැන්වූ බව සිහිපත් කරන අග්‍රාමාත්‍යවරයා මොවුන් පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ නම් බෙදුම්වාදි ප්‍රතිපත්තියට ජනවරමක් මෙන්ම මහා සංඝරත්නයේ ආශිර්වාදයත් ලැබුණු බව කියමින් එය ක්‍රියාවට නංවනු ඇති බවත් පවසයි.

යම්කිසි ජනවර්ගයක්, ආගමක් මුල් කොට ගෙන ඇතිවන දේශපාලන පක්ෂ තමන්ගේ ජනවර්ගයට හෝ ආගමට හෝ අයත් ජනතාවට පමණක් සලකා පිටස්තර ජාතීන්, ආගමිකයන් සතුරන් ලෙස සලකනු ඇති බව පවසන අග්‍රාමාත්‍යවරයා මේ දේශපාලනය නිසා ඇති විය හැකි භයානක ආනිශංස පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් අත්දැකීමට හැකි වූ බවත් කියයි.

මේ රටේ ජාතීන් හා ආගම් අතර මීට කලකට පෙර තිබුණු ආකාරයේ සමඟියක්, අන්‍යොන්‍ය සහයෝගයක් යළි ඇති කිරීමට නම්, පටු ජාතිවාදී දේශපාලනයෙන් ප්‍රතිලාභ අත් නොවෙන තත්වයක් ඇතිවිය යුතු බවත් එවිට, තරුණ පරපුර අතරින් නැවතත් පොන්නම්බලම්ලා, දොරෛයිඅප්පලා,හමීඩ්ලා, මවුලානලා මේ රටේ බිහිවෙනු ඇති බවත් අග්‍රමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *