(කොළඹ, ලංකාපුවත්) – මෙරට ක්‍රියාත්මක සියලු සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන්නේ බන්ධනාගාර තුළ සිට බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා අවධාරණය කරයි.
බන්ධනාගාරය තුළට කාන්තාවක් ගෙනඒම සහ එළියට ගොස් නිදහසේ කටයුතු කොට යළි ඇතුළට පැමිණීම යන කරුණු දෙක හැරෙන්නට අනෙක් සියලු දෑ බන්ධනාගාරය තුළදී ලබාගත හැකි බව කොළඹ දී පැවැති උත්සවයකට එක් වෙමින් ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කමල් ගුණරත්න මහතා පෙන්වා දුන්නේ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ සම්බන්ධයෙන් අධ්‍යයනය කළයුතු බවය. කුඩු රජවරු, පාතාල නායකයන් රුපියල් කෝටි ගණනින් මුදල් වියදම් කරන බවද, ලොකු ලොක්කන්ට බන්ධනාගාරය තුළ කළ නොහැකි කාර්යයන් නැති බව ගුණරත්න මහතා පැවසීය.
දෙමළ ඩයස්පෝරාවේ ඊළම්වාදයට සහාය දක්වන කොටස් මෙරට පුනරුත්ථාපනය කළ තරුණ තරුණියන් උපයෝගී කරගෙන නැවතත් ත්‍රස්තවාදය ඉස්මතු කරගැනීමට දැඩි උත්සාහයක් දරන බව පෙන්වා දුන් ඒ මහතා අපගේ බුද්ධි අංශ නිවැරැදි ලෙස බලගැන්වීම නොකරන්නේ නම් අපිට සාර්ථකත්වයක් දැකිය නොහැකි බවද පැවසීය.