මතින් තොර රටක් බිහි කිරීමට ක්‍රීඩාවේ දායකත්වය බොහෝ වටිනවා – ආණ්ඩුකාර අනුරාධා යහම්පත්

(කොළඹ, ලංකාපුවත්) – මත්උවදුරට ඇබ්බැහි වූවන් ඉන් බේරා ගැනිම සදහා ක්‍රීඩා ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ට විශාල වැඩ කොටසක් සිදු කළ හැකි බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

නැගෙනහිර පළාත් ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවය අමතමින් ආණ්ඩුකාරවරිය මේ බව කියා සිටියාය.

වර්ණ ප්‍රදානෝත්සවය අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. එහිදි නැගෙනහිර පළාත නියෝජනය කරමින් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දි සහ අන්තර්ජාතික ක්‍රීඩා වලදි දස්කම් දැක්වු ක්‍රීඩික ක්‍රීඩිකාවන් අසුදෙනෙකු සම්මාන සහ මූල්‍ය ත්‍යාග ලබා ගත්හ.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ආණ්ඩුකාරවරිය මෙසේද කිවාය.

“මෙය නැගෙනහිර පළාතට ලැබුණු ජයග්‍රහණයක් ලෙස මම දකින්නේ නැහැ මෙය මුළු රටටම ලැබුණ ජයග්‍රහණයක්. ඔබ නැගෙනහිර පළාත නියෝජනය කළත් ඔබ අද අභිමාන ලබා දුන්නේ මම හිතන්නේ ඔබගේ රටටමයි. ජාත්‍යන්තරය ජයග්‍රහණය කිරීමට ක්‍රීඩිකාවෝ ක්‍රිඩකයෝ වශයෙන් ඔබට අවස්ථාව ලැබිලා තියෙනවා. ඔබ එය ඉතාමත්ම හද පුරාම භාර අරගෙන බොහොම අභිමානවත් ලෙස ඔබේ රට නියෝජනය කරන්නට ඇති කියා මම විශ්වාස කරනවා. සෞඛ්‍ය සම්පන්න හොද පෞරුෂයක් සමග විනායානුකුල පුද්ගලයෝ බවට පත් කරන්නට ක්‍රීඩා ක්ෂේත්‍රය උපයෝගි වෙනවා . නමුත් ඒ එකකටවත් වඩා ලොකු කාරණාවක් නිසා තමයි මම ක්‍රීඩා ක්ෂේත්‍රය විශේෂයෙන්ම අගය කරන්නේ මම දකිනවා ක්‍රීඩා ක්ෂේත්‍රයේ නියැලිලා ඉන්න හැම කෙනෙකුටම අප්‍රතිහත ධෛර්යයක් තියෙනවා නොපැකිලෙන සුළු ධෛර්යයක් තියෙන බව. මොකද ක්‍රීඩා ක්ෂේත්‍රය කියන්නේ එක දවසින් වෙහෙසිලා ජයග්‍රහණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි අවුරුදු ගාණක් තිස්සේ ඔබ කරපු මහන්සියේ ප්‍රතිඵලයක් ලෙස තමයි මේ අද ඔබ ජයග්‍රහණය ලබන්නේ. අද ලබපු ජයග්‍රහණය ලබා ගන්නට නම් ඔබ නොපැකිලිව නොනවත්වා ඒ තමන් සහජයෙන් පෙන්වූ දක්ෂතාවය මතම එය වර්ධනය කරමින් ක්‍රීඩාවේ යෙදෙන්ට ඕනේ. මම හිතනවා එය අපේ හැම ක්ෂේත්‍රයකටම අත්‍යවශ්‍යම දෙයක්. මොකද නිළධාරින් වශයෙන් අපි යමක් කරලා ඒ වැඩේ කරලා ඉවරයි කියලා පැත්තකට දාලා ඉන්නවා. ඒක නෙමෙයි අපි කරන වැඩේ නියැලෙමින් තවදුරටත්, තවදුරටත් ඒ ගැන පසුවිපරම් කරන්න ඕනෑ.

අපි සියළු දෙනාටම ඕනේ වඩා වටිනා පුද්ගලයන් මේ රටට බිහි කිරීමටයි. ඉතින් මම ඉල්ලා සිටිනවා ඔයගෝල්ලෝ ලබන ජයග්‍රහණයට සහ ඒ ජයග්‍රහණයේ කොටස්කරුවන් වන හැමෝම සමග ඔබ ලබපු අත්දැකීම් බෙදාගන්න. ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශේෂ දෙයක් තියෙනවා. ක්‍රීඩා ක්ෂේත්‍රයේ නියැලී ඉන්නේ වඩා හොද පෞරුෂයක් තියෙන වඩා ලස්සන පුද්ගලයින්. ඒ හින්දා විශාල අනුගාමිකයෝ පිරිසක් ඉන්නවා ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉන්න අයට ඒ නිසා ඒ අනුගාමිකයන්ටත් ඔබ ලබපු අත්දැකීමම ලබා දීලා ඒ අත්දැකීම හරහා ඔවුන්ව වඩා හොද පුද්ගලයෝ කරන්නට ඔබට හැකි වෙයි. පහුගිය කාලයේ කොයිතරම් දුරට අපේ රට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තිබිච්ච රටක්ද කියන එක මේ දිනවල අල්ලන මත්ද්‍රව්‍ය දැක්කම පේනවා. තවමත් දවස ගානේ කොහේහරි පළාත් වලින් ඒ මත්ද්‍රව්‍ය සමග මිනිසුන් අල්ල ගන්නවා. ඉතින් ඒක ඉතාමත්ම භයංකාර තත්වයක්. මේ පාසල් දරුවන් සහ රටේ තරුණ පිරිසත් ඒ සදහා ඇබ්බැහි වෙලා තියෙනවා. මම විශ්වාස කරනවා ඔබලාට පුළුවන් ඔබලා නියෝජනය කරන ක්ෂේත්‍රය හරහා මේ තරුණ තරුණියන් මත්ද්‍රව්‍ය උවදුරින් බේරා ගැනීමට. ඒ සදහා ඔබට කළ හැකි හැමදේම කරන්නට ඔබට අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් මම නැවත වතාවක් ඉතාමත්ම ආඩම්භර වෙනවා මම දැන් නැගෙනහිර පළාතේම පුද්ගලයෙක් විදිහට තමයි හිත්නනේ මම නැගෙනහිර පළාතේ ජීවත් වුණෙත් නෑ උපත ලැබුවෙත් නෑ නමුත් මම අභිමානවත් ලෙස නැගෙනහිර පළාතේ පුද්ගලයෙකු වශයෙන් ඔබ හැමෝගෙම ජයග්‍රහණය බෙදා හදා ගන්නට කැමතියි. යැයි ද” ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් කියා සිටියාය.

මේ අවස්ථාව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ, නැගෙනහිර පළාත් සභාවේ සභාපති චන්ද්‍රදාස ගලප්පත්ති, පළාත් ප්‍රධාන ලේකම් තුසිත පී. වනිගසේකර, ආණ්ඩුකාර ලේකම් එල්.පී.මදනායක, පළාත් අධ්‍යාපන ලේකම අයි.කේ.ජී. මුතුබණ්ඩා, අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමල දිස්ත්‍රීක් ලේකම්වරුන්, පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂක ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *