ගොවියාට-පාරිභෝගිකයාට සහන ලැබෙන වෙ‍ෙළඳපොළක් සකසන්න

(කොළඹ, ලංකාපුවත්) –ගොවියාට ඉහළ මිලක් සහ පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙන වෙළඳපොළ නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (14) අවධාරණය කළේය.

දිවයිනේ සියලු ප්‍රදේශවල කෘෂි අස්වනු අතරමැදියන්ගේ සම්බන්ධයක් නැතිව අළෙවි කිරිමේ පහසුව ගොවීන්ටම ඝෘජුව හිමිවන පසුබිම සැකසීමෙන් එය ආරම්භ කළ හැකි බව ජීවන වියදම් කමිටුව සමග ජනාධිපති කාර්යාලයේ ඊයේ (14) පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හිඟයකින් තොරව සියලු ප්‍රදේශ වෙත අඛණ්ඩව සැපයීමට ගත යුතු ක්‍රියාමාර්ග විධිමත් කිරීම කෙරෙහි ජනාධිපතිවරයාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමු විය.

වත්මන් ජීවන තත්ත්වය සහ කොවිඩ් 19 ආශ්‍රිත දුෂ්කරතා සැලකිල්ලට ගෙන පරිප්පු, ටින් මාළු, බී ළුණු සහ සීනි යන අත්‍යාවශ්‍ය භාණ්ඩවල ආනයනික බදු ජනාධිපතිවරයා විසින් පෙරේදා ඉවත් කරනු ලැබිණි.

පුරන්ව ඇති බවට ශ්‍රේණිගත කර තිබෙන කුඹුරුවල කඩිනමින් පොල් වගා කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදුන් අතර මේ වන විට රජය හෙක්ටයාර් 50,000ක් අලුතින් පොල් වගා කිරීම ද ආරම්භ කර ඇත.

එළවළු, පළතුරු, බිත්තර පාරිභෝගික අවශ්‍යතාව අනුව ප්‍රාදේශීයව සපුරා ගැනීමේ විධිමත් වැඩපිළිවෙළක් සැකසෙමින් පවතින බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසීල් රාජපක්ෂ මහතා පැවසීය.

පවුලක දෛනික පරිභෝජන අවශ්‍යතාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ගණනය කර තිබෙන අතර අඩු ආදායම්ලාභීන් නගා සිටුවීමේ පියවරක් ලෙස නිවාස ආශ්‍රිතව එළවළු සහ පළතුරු වගා කිරීම සහ ගෘහස්ත කුකුලු පාලනයෙන් බිත්තර අවශ්‍යතාව සපුරා ගැනීමට සැලසුම් කර ඇති බව බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

පසුගිය වසරට සාපේක්ෂව මෙවර යල සහ මහ කන්නයේ ඉහළ වී අස්වැන්නක් ලැබී ඇතැයි නිලධාරීහූ පෙන්වා දුන් අතර ඉදිරියේ දී වී අස්වනු මිලදී ගැනීමේ ක්‍රමවේදයක් සැකසීමේ අවශ්‍යතාව ජනාධිපති රාජපක්ෂ මහතා පැහැදිළි කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව පළතුරු, එළවළු සහ පොහොර දුම්රියෙන් ප්‍රවාහනය කිරීමට විශේෂ වැඩසටහනක් සැලසුම් කර ඇතැයි ද එහිදී සඳහන් කෙරිණි.

අගමැති මහින්ද රාජපක්ෂ, ඇමැතිවරුන් වන බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අළුත්ගමගේ, ඩග්ලස් දේවානන්ද , රාජ්‍ය ඇමැතිවරුන් වන ලසන්ත අලගියවන්න, අරුන්දික ප්‍රනාන්දු, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසීල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරුන්, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරුන් ඇතුළු ජීවන වියදම් කමිටුවේ සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *