මෙරට ලාබාලතම කොරෝනා මරණය වාර්තා වෙයි

(කොළඹ, ලංකාපුවත්) –මෙරටින් වාර්තා වූ ළාබාලත ම කොවිඩ් මරණය අද (08) වාර්තා වූ බව සෞඛ්‍ය බලධාරීන් පැවසීය. එම මරණය බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් වාර්තා විය.

නියුමෝනියාව හා කොවිඩ් තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් මිය යන විට එම බිළිදාට දින 20ක් බවයි සෞඛ්‍ය අංශ පැවසූහ.

මේ පිළිබඳව අදහස් දක්වමින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂක ජි.විජේසුරිය මහතා සඳහන් කලේ රෝහලට ඇතුලත් කරන විටත් මෙම දරුවා අසාධ්‍ය මට්ටමේ සිටි බවයි.

තමන්ගේ දරුවන්ට අසනීප තත්වයක් තිබේනම් රෝහලට රැගෙන ඒමට බිය නොවන ලෙස ඔහු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.

“ඇතුළත් කරන අවස්ථාවේදීම එම දරුවා ඉතාමත් අසාධ්‍ය තත්වයේ සිටියා. ඒ අනුව තද බල නියුමෝනියාව තිබෙන බවට සනාත කර ගත්තා කෙසේ වෙතත් දරුවා ඒ අවස්ථාවේදීම දැඩි සත්කාර ඒකකයට ප්‍රතිකාර සඳහා යොමු කළා. දැඩි සත්කාර ඒකකයේ සවස 4 දක්වා පමණ ප්‍රතිකාර ලැබුවා ඒ දරුවා. ඒ අතරතුරදී PCR පරීක්ෂණයක් කළා. PCR පරීක්ෂණයෙන් දරුවාට කොරෝනා සෑදී ඇති බවට තහවුරු වුණා. ඒ වගේම එම දරුවාගේ දෙමාපියන්ගේත් PCR පරීක්ෂණ සිදු කළා නමුත් දෙමාපියන්ගේ කොරෝනා නැති බවට තමයි සනාත වුණේ.

මේ දරුවා මිය යාමට හේතු වුනේ ගොඩක් ප්‍රමාද වෙලා රෝහලට ගෙනාපු හින්දා. මම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ දරුවන්ට අසනීප තත්වයක් තියනවනම් දරුවන් වේලාසනින් රෝහලට රැගෙන එන්න. ප්‍රතිකාර ගැනීමට රෝහලට පැමිණීමට කිසිසේත්ම බය වෙන්න එපා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *