ඉඩම් හා මුල්‍ය ආරවුල් විසදීමට සෑම දිස්ත්‍රික්කයකටම එක් සමථ මණ්ඩලයක්

(කොළඹ, ලංකාපුවත්) –ඉඩම් හා මුල්‍යමය ආරවුල් විසදීම සදහා දිස්ත්‍රික් මටිටමින් වෙන වෙනම නව සමථ මණ්ඩල පිහිටුවීමටත් කොවිඩ් 19 වෛරස තත්වය හේතුවෙන් තාවකාලිකව අත් හිටුවා තිබු සමථ මණ්ඩල කටයුතු ජනවාරි 09 වනදා සිට යලි ආරම්භ කිරීමටත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතාගේ සහ සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සමාජිකයින් අතර ඊයේ(17) අධිකරණ අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවේදී තිරණය විය.

විශේෂයෙන් ඉඩම් හා මුල්‍යමය ආරවුල් පිළිබදව පැමිණිලි විශාල වශයෙන් සමථ මණ්ඩල වලට යොමු වීම හේතුවෙන් ඉඩම් හා මුල්‍යමය නඩු පමණක් විසදීම සදහා මෙම විශේෂ සමථ මණ්ඩල පිහිටුවීමට පියවර ගෙන ඇත.

මේ යටතේ කොළඹ ගම්පහ කුරුණෑගල මහනුවර හා අනුරාධපුර යන දිස්ත්‍රික්කවල පළමුව මෙම විශේෂ මුල්‍යමය ආරවුල් පිළිබදව සමථ මණ්ඩල පිහිටුවීමට නියමිතයි.

විශේෂයෙන් එම දිස්ත්‍රික්කවල ඉඩම් හා මුල්‍යමය ආරවුල් පිළිබදව පැමිණිලි වැඩි වශයෙන් ලැබීම මීට හේතුව වී ඇති අතර පසුව අනෙකුත් දිස්ත්‍රික්කවල මෙම විශේෂ සමථ මණ්ඩල පිහිටිවීමට නියමිතව තිබේ.

මේ අතර මේ වන විට මසකට දින හතරක් සමථ මණ්ඩල කටයුතු සිදු වෙන අතර එම සංඛ්‍යාව දින 06 ක් දක්වා වැඩි කිරීමට ද සාකච්ඡාවේදී තීරණය විය.

සමථ මණ්ඩල සදහා යොමු වන පැමිණිලි සංඛ්‍යාව වැඩිවීම හේතුවෙන් කඩිනමින් ඒවා විසදා අවසන් කිරීම අරමුණු කර ගනිමින් මෙම පියවර ගෙන ඇත.

දැනටමත් මේ වන විට ඉඩම් ආරවුල් විසදීමේ විශේෂ සමථ මණ්ඩල උතුරු නැගෙනහිර පළාත්වල සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටුවා තිබේ.වසරකට සමථ මණ්ඩල සදහා ආරවුල් පිළිබදව පැමිණිලි ලක්ෂයක් පමණ යොමු වෙයි.

සමථ මණ්ඩල මගින් සිදු කරනු ලබන සේවය හේතුවෙන් අධිකරණවලට පැමිණෙන නඩු සංඛ්‍යාව විශාල වශයෙන් අඩු වී ඇති බවත් විශේෂයෙන් ඉඩම් හා මුල්‍යමය ආරවුල් විසදීම සදහා දිස්ත්‍රික්ක මට්ටමින් සමථ මණ්ඩල පිහිටුවීම වැදගත් බවත් අධිකරණ අමාත්‍යතුමා මෙහිදී සදහන් කළේය.

සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හෙක්ටර් එස් යාපා, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සමාජිකයින් වන විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක, විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චන්ද්‍රාස නානායක්කාර, ෆලීලා ජුලම්පති, අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ ප්‍රියන්ත මායාදුන්නේ යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් මෙම සාකච්ඡාවට එක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *