2021 වසර සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය වැඩ අරඹයි

(කොළඹ, ලංකාපුවත්) –උදා වූ 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය ද අද (01) උදෑසන සිය රාජකාරි ආරම්භ කරන ලදී. වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සභාපති ජෙනරාල් දයා රත්නායක මහතාගේ ප්‍රධනත්වයෙන්, ආගමික වතාවත් සඳහා ප්‍රමුඛත්වය දෙමින් වරාය සම්බුද්ධත්ව ජයන්ති චෛත්‍ය පරිශ්‍රයේ දී වැඩ ආරම්භ කෙරිණි.

මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනක මහතා ප්‍රකාශ කළේ,

පසුගිය වසර විශාල අභියෝගාත්මක වසරක් වූ බවත්, නියමිත පරිදි රාජකාරි ඉටු කිරීමට ඉඩ ලැබුණේ මාස දෙකක් පමණ කෙටි කාල සීමාවක් තුළ දී බවත් ප්‍රකාශ කළේ ය. ලෝකයේ වෙනත් රටවල් පිළිබඳව අවධානය යොමු කරමින්, ඒවායේ ක්‍රියාත්මක ක්‍රමවේද අත්හදා බලමින් නැවත නැගිටින රටක් බවට ශ්‍රී ලංකාව පත්කර ගතයුතුව ඇතැයි ප්‍රකාශ කළේ ය.

වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා, කොරෝනා අපේ රට ට පැමිණි මුල් අවස්ථාවේ දී මුළු රට ම වසා දමමින්, අකර්මන්‍ය කරමින් ලෝකයේ අනිකුත් රටවල් මෙන් අපි අත්හදා බැලීමක් සිදු කළ බවත්, රටේ අධ්‍යාපනය, ආර්ථිකය සියළු දේ කඩා වැටුණු පසුබිමක රටක් ලෙස ඉදිරියට යෑම එය බාධාවක් වූ බවත් පැවසී ය. ඒ නිසා අද දවසේ මෙම කොරෝනා වෛරසය සමග සටන් කරමින් 2021 දී රට ඉදිරියට ගෙන යෑමට අප ට අභියෝගාත්මක වසරක් වන නිසා, ඒ අභියෝගය ජය ගැනීමට රට ට ආදරය කරන මිනිසුන් ලෙසින් වැඩ කරමු යන පණිවිඩය සියළු වරාය සේවකයන් වෙත අවධාරණය කර සිටියේ ය.
අතිගරු ජනාධිපතිතුමන්ගේ හා ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස ඉටු කිරීමට අද දින ප්‍රතිඥාවක් ද ලබා දෙන ලදී.

ඒ අනුව ‘නූතන තාක්‍ෂණයෙන් සන්නද්ධ මානව සම්පතක් මෙහෙයවන පිරිසිදු රාජ්‍ය පාළනයක කොටස්කරුවකු වන මම මහජන මුදලින් රජයේ සේවකයෙකු ලෙස, රාජ්‍ය ප්‍රතිපත්ති හා අරමුණු ක්‍රියාත්මක කිරීමෙහි ලා මා වෙත පැවරෙන කාර්යභාරය කාර්යක්‍ෂමව, සඵලදායීව, තිර අදිටනින් යුතුව, උපරිමව කැප වී, අවංකභාවයෙන්, මහජනතාවට පක්‍ෂපාතීව සපුරා ඉටු කරන බවට ප්‍රතිඥා දෙමි,’ යනුවෙන් අපි සෑම කෙනෙක් ම, මෙම ප්‍රතිඥාව තුළ පිහිටා අපි එකිනෙකා වෙත පැවරී ඇති වගකීම ඉටු කරන්නට කැප වුවහොත් මෙම කොරෝනා වෛරසය පරදවීමට අසීරු නොවනු ඇත. එය ඉටු කිරීමට එක්වන ලෙස ඉල්ලා සිටිමින් සියලු වරාය සේවක මහත්ම මහත්මීන්ටත්, ඔවුනගේ පවුල්වල සියලු දෙනාටත් නිරෝගිමත් වාසනාවන්ත නව වසරක් වේවා යි ද එතුමා ප්‍රාර්ථනා කළේ ය.

එමෙන් ම, පැමිණි සිටින සීමිත පිරිසක් වන අමාත්‍යංශ නිළධාරීන්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්‍ෂවරුන් ඇතුළු නිළධාරීන්ගෙන්, වෘත්තීය සමිති නායකයන්ගෙන් ඉල්ලා සිටියේ තමා සමග මුණ ගැසීමට නොහැකි වූ සියලු සේවක මහත්ම මහත්මීන් වෙත ද සුභ පැතුම් එක් කළ බව දැණුම් දෙන ලෙසයි.

මෙම අවස්ථාවට වරාය හා නාවික අමාත්‍යංශ ලේකම් යූ.සී.ඩී. ජයලාල් මහතා, රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඩී.ඩී. මාතරආරච්චි මහතා ඇතුළු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති, කළමණාකාර අධ්‍යක්‍ෂ, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂවරුන් හා අධ්‍යක්‍ෂවරුන් ද, අධිකාරියේ අංශ ප්‍රධාන මහත්ම මහත්මීන් ඇතුළු විධායක නිළධාරීන් හා සේවක මහත්ම මහත්මීන් මෙන් ම වෘත්තීය සමිති නිළධාරීන් ද සහභාගී වි ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *