දිවා රාත්‍රී ක්‍රීඩාංගන ඉදිවීම, මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරුවන තරුණ පරපුරට විකල්පයක් – ඇමති ඩලස්

(කොළඹ, ලංකාපුවත්) – අපේ රටේ දරුවන් නිරන්තරයෙන් මුහුණ දෙන ගැටලුකාරී අර්බුධ තත්ත්වයන්ගෙන් එකක් තමයි මත් උවදුර. කුඩු වසංගතය මේ වනවිට ශ්‍රී ලාංකීය තරුණ පරම්පරාව වේගයෙන් ගොදුරු කරගෙන. මේ ආකාරයෙන් මත් රකුසාගේ ගොදුරක් බවට පත්වූ තරුණ පරපුර නීතියෙන් පමණක් ගොඩගන්න බැහැ. ඔවුන්ට එයින් මිදෙන්නට විකල්ප අවස්ථාවන් ලබාදිය යුතුයි. මේ ආකාරයෙන් දිවා රාත්‍රී ක්‍රීඩාංගන ඉදිකිරිමේ ප්‍රධානතම අරමුණ තමයි, තරුණ පරපුරට විකල්ප අවස්ථා ලබාදීම. රාත්‍රී 12 වනතුරු මේ ක්‍රීඩාංගනයේ ක්‍රීඩා කරන්න තරුණයින්ට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා අදුරත් සමගින් මත් ද්‍රව්‍ය සොයාගෙන ඇදෙන තරුණ පිරිස් ඉන් බැහැර වෙලා ක්‍රීඩා කරන්න ක්‍රීඩාංගන වලට ඇදෙනවා. ඒක තමයි ඔවුන්ට තිබෙන විකල්පය. ඒවගේම විභාග පස්සේ දුවලා, දියවැඩියා රො‍්ගීන් බවට පත්වන පාසල් දරු පරපුර අනාගතයේදී නිරෝගිමත් පරපුරක් බවට පත්කිරීමටත් මෙම ක්‍රීඩාංගන ඉදිකිරීමේ ව්‍යාපෘතිය මහත් රුකුලක් වේවි යැයි විදුලිබල අමාතය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ, වැලිගම අර්ෆා ජාතික පාසලේ ඉදිකළ දිවා රාත්‍රී ක්‍රීඩාංගනය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහ්ස දැක්වූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා,

රාත්‍රී 12 වනතුරු ක්‍රීඩා කරනවා කිව්වම වැඩියෙන්ම බය වෙන්න ඕන මමයි. ඒ මේ රටේ විදුලිබල ඇමතිවරයා හැටියට. මේ වෙලාව තමයි විදුලිබල ඉල්ලුම වැඩිම වෙලාව. මේ වෙලාවේ ක්‍රීඩා කිරීම විදුලිබල පද්ධතියට බරක්. නමුත් මේ වනවිට අපි ඒ වෙනුවෙන් විසදුම් සොයාගෙන යනවා. පුනර්ජනනීය ප්‍රභවයන් වෙත අපි යොමු වුනේ ඒ නිසයි. මේ වනවිට අපේ අර්ථිකය දහනය වන්නේ ඩීසල් මතයි. නමුත් 2030 වනවිට විදුලි නිෂ්පාදනයට අපි එක ඩීසල් කදුලක්වත් වැය කරන්නේ නැහැ. අතිගරු ජනාධිපතිතුමාගේ මගපෙන්වීම යටතේ ඩීසල් මත පිලිස්සෙන රටේ ආර්ථිකය අපි මෙතනින් ගොඩගන්නවා. කුමන තත්ත්වයක් යටතේ වුවත්, රටේ අනාගත දරුවන් වෙනුවෙන් මේ කැපකිරීම කරන්න විදුලිබල මණ්ඩලය සූදානම්.

මේ රටේ ක්‍රීඩාව සම්බන්ධයෙන් පැවතුනේ ඇල්මැරුණ ස්වභාවයක්. ජනාධිපතිතුමා එතුමාගේ සෞභාග්‍යයේ දැක්ම තුළ ඉදිරිපත් කල ක්‍රීඩා ආර්ථිකය තුළින් මෙම ඇල් මැරුණ තත්ත්වය වෙනස් කිරීමට හැකිවුණා. එදා අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් මාගේ අදහස වූයේ මාතරට ප්‍රධාන ක්‍රීඩාංගන 05 ක් ඉදිකිරීමටයි. නමුත් කංචන විජේසේකර මන්ත්‍රීතුමා යෝජනා කළා, ඒක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයකට දිවා රාත්‍රී ක්‍රීඩාංගන 02 ක් වගේ ඉදිකිරීම සුදුසුයි කියලා. ඒ යෝජනාවේ අස්වැන්න තමයි අද මේ අපි භුක්ති විදින්නේ. අද මේ දිස්ත්‍රික්කය පුරා දිවා රාත්‍රී වොලිබෝල් ක්‍රීඩාංගන 34 ක් ඉදිවෙලා තිබෙනවා. දිස්ත්‍රික්කයක් වශයෙන් මෙය සුවිශාල ජයග්‍රහණයක් මෙන්ම අපේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් මෙය ප්‍රගතිශීලි පියවරක්. පසුගියදා ලංකා විදුලිබල මණ්ඩලයේ වොලිබෝල් කණ්ඩායම මෙවර මන්චී ජාතික වොලිබෝල් ශුරතාවය හිමිකර ගත්තා. ඒක අපිට ලොකු ආඩම්රයක්. ඒ වගේම වර්ථමාන ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජප්කෂ මැතිතුමාත් අපිට ආඩම්බරයක්. එතුමා මේ රටේ ක්‍රීඩා අමාත්‍යවරුන් අතර ක්‍රීඩාව ප්‍රායෝගිකව අතට ගත්ත, ඒ වගේම ක්‍රීඩාව ඇගේ තිබන ජාතික තලයේ ක්‍රීඩකයෙක් වශයෙන් අපට හදුන්වන්න පුලුවන්. එතුමා පාසල් පද්ධතියෙන් ආරම්භ කර, මේ වනවිට සමස්ත රටම ආවරණය වන පරිද්දෙන් සුවිශේෂී සැලස්මක් යටතේ ක්‍රිඩාව ව්‍යාප්ත කරමින් සිටිනවා. ඒ අනුව සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම එක් ක්‍රීඩාංගනයක් බැගින් ඉදිකිරීමට මුදල් වෙන්කර තිබෙනවා යැයි පැවසීය.

ගරු කතානායක මහින්ද යාපා අබේවර්ධන, ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිතුමන් ඇතුළු ප්‍රදේශයේ ජනතා නියෝජිතයන්ද අර්ෆා විද්‍යාලයේ විදුහල්පතිතුමන්, ගුරුබවතුන් මෙන්ම සිසු දරුදැරියන් විශාල පිරිස්ක සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *