ශ්‍රී ලංකා-බංග්ලාදේශ රාජත්‍රාන්ත්‍රික සබඳතා ශක්තිමත් කළ අගමැති දෙදින නිල සංචාරය

(කොළඹ, ලංකාපුවත්) –අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බංග්ලාදේශ දෙදින රාජත්‍රාන්ත්‍රික සංචාරය පසුගිය සෙනසුරාදා (20) නිමාවට පත්විය. දෙරට අතර ද්විපාර්ශවීය සබඳතා ශක්තිමත් කළ ‌‌‌මෙම සංචාරය බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මියගේ ආරාධනාවකට අනුව සිදුවිය.

බංග්ලාදේශ නිදහස් ස්වර්ණ ජයන්තිය සහ බංග්ලාදේශ ජනරජයේ ජාතියේ පියා ලෙස සැළකෙන බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මාන් මහතාගේ ජන්ම ශත සංවත්සර උළෙලට එක්වූ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එරටට මහත් හරසරින් පිළිගත්තේය.

දෙරටේ අග්‍රාමාත්‍යවරු අතර පැවති නිල සාකච්ඡාවේ දී දෙරටේ ආර්ථික සංවර්ධනය උදෙසා ආයෝජන, වෙළෙඳ, තාක්ෂණ, කෘෂි ක්ෂේත්‍ර හා දේශපාලන සබඳතා ඉදිරියට ගෙනයාම පිළිබඳ දීර්ඝ ලෙස අවධානය යොමු විය.

එමෙන්ම ඒ ඒ ක්ෂේත්‍රයන්හි සංවර්ධනය උදෙසා දෙරටට වැදගත් වන ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ කරුණු සාකච්ඡා කිරීමටත් ගිවිසුම් 6ක් පිළිබඳ ද්විපාර්ශ්වික අවබෝධතා අත්සන් කිරීම සහ අලුත් කිරීම පිළිබඳව නායකයෝ දෙපළ මෙහිදී එකඟතාවයට පැමිණියහ.

කාලාපයට අනන්‍ය වූ ශක්තිමත් ආර්ථික වැඩපිළිවෙලක අවශ්‍යතාව වෙනුවෙන් මුදල් නොවන භාණ්ඩ හුවමාරු ක්‍රමයක් ඇතිකිරීමත් එවැනි අනන්‍ය වැඩපිළිවෙලක් කඩිනමින් සකසා ගැනීම පිළිබඳවත් වූ ද්විපාර්ශවීය සාකච්ඡාව මෙම සංචාරයේ වැදගත්කම තීව්‍ර කළේය.අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා කළ එම යෝජනාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දැඩි අවධානයට ලක් වූයේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 2021 මාර්තු 19 -20 බංග්ලාදේශයේ කළ රාජ්‍ය සංචාරය පිළිබඳව නිකුත් කරන ලද ඒකාබද්ධ නිවේදනයේ තොරතුරු පහත පරිදි සාරංශ ගත කර තිබේ.

මෙම රාජත්‍රාන්ත්‍රික සංචාරයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය දෙරටේ ඒකාබද්ධ නිවේදනය මේ වනවිටත් නිකුත් කර ඇත.

අග්‍රාමාත්‍යතුමාගේ මෙම දෙදින බංග්ලාදේශ නිල සංචාරය 2020 අගෝස්තු මාසයේ දී අගමැතිධුරයට පත්වීමෙන් පසු අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ පළමු විදෙස් සංචාරය වේ.

බංග්ලාදේශයේ ජාතියේ පියා වන බංගබන්ධු ෂෙයික් මුජිබුර් රහ්මාන් මැතිතුමාගේ ජන්ම දිනය සැමරීම සහ බංග්ලාදේශ නිදහස් ස්වර්ණ ජයන්තිය සැමරීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට මෙම ආරාධනාව ලැබී තිබිණි.

මෙම සංචාරය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ අධ්‍යාපන අමාත්‍ය, කලාපීය සහයෝගිතා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය , මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය, බතික්, අත්යන්ත්‍ර රෙදි සහ දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය සහ ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත පිළිබඳ අමාත්‍ය, අග්‍රාමාත්‍ය ලේකම්, විදේශ ලේකම් සහ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීහු පිරිසක් එක් වූහ.

ඩකා හි හස්රත් ෂජ්ජලාල් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී ( Hazrat Shahjalal International Airport) අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස චාරිත්‍රානුකූලව පිළිගනු ලැබුවාය.

එදින බංග්ලාදේශ විදේශ අමාත්‍ය ආචාර්ය ඒ. කේ. අබ්දුල් මෝමන් මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් පැවැත්විණ.

1971 විමුක්ති යුද්ධයේ දිවි පිදූවන් සිහි කිරීම සඳහා බංග්ලාදේශයේ සාවාර් හි පිහිටි ජාතික දිවි පිදූවන්ගේ ස්මාරකයට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විරුවන් සිහිකර උපහාර දැක්වූ අතර එරට ජාතික දිවි පිදූවන්ගේ අනුස්මරණ පරිශ්‍රයේ පැළයක් රෝපණය කළේය.

ඩකාහි ජාතික ක්‍රීඩාංගණයේ දී පැවති බංගබන්දු අනුස්මරණ විශේෂ වැඩසටහනේ දී ගෞරවණීය ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දේශනයක් පැවැත්වීය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය දේශනයේ දී බංග්ලාදේශයේ ජාතියේ පියා වන බංගබන්දධු ෂෙයික් මුජිබර් රහ්මාන් මැතිතුමාට සහ ස්වෛරී හා ස්වාධීන බංග්ලාදේශයක් බිහිවීමට උරදුන් ඔහුගේ දූරදර්ශී නායකත්වයට උපහාර දැක්වීය.

‘සොනාර් බංග්ලා’, ‘සමෘද්ධිමත් ස්වර්ණමය බෙංගාලය’ පිළිබඳ ඔහුගේ සිහිනය සැබෑ කර ගැනීම සඳහා බංගබන්ධු උරුමය සාර්ථකව ඉදිරියට ගෙන යාම ගැන මහින්ද රාජපක්ෂ අගමැතිතුමා බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මියට ප්‍රශංසා කළේය.

වසංගතයක් මධ්‍යයේ වුවද මෙම අවස්ථාවට සහභාගී වීම සහ බංග්ලාදේශය සහ එහි ජනතාව කෙරෙහි දක්වන සහයෝගිතාව පිළිබඳව අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය අගමැති මහින්ද රාජපක්ෂ මහතාට මෙහිදී සිය විශේෂ ස්තූතිය පිරිනැමීය.

බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරියගේ ආරාධනාව පරිදි එදින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් විශේෂ රාජ්‍ය භෝජන සංග්‍රහයක් පැවැත්විණි.

මාර්තු 20 දින ඩකා හි බංගබන්ධු අනුස්මරණ කෞතුකාගාරයේ දී බංග්ලාදේශ ජාතියේ පියා වන බංගබන්දධු ෂෙයික් මුජිබර් රහ්මාන් මැතිතුමාගේ අනුස්මරණය වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමා උපහාර දැක්වීය.

දෙරට අතර පවතින විශිෂ්ට ද්විපාර්ශ්වික සබඳතා සහ මිත්‍රත්වය පිළිබිඹු කරමින් මහත් උණුසුම් හා සුහඳතාවය සළකුණු කළ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර එදින පැවැත්විණි.

නායකයින් දෙදෙනා බංග්ලාදේශ – ශ්‍රී ලංකා සබඳතාවල සියලු අංශ පිළිබඳව එහිදී සාකච්ඡා කළ අතර සමකාලීන ජාත්‍යන්තර හා කලාපීය පොදු අවශ්‍යතා පිළිබඳව ද දීර්ඝ වශයෙන් කරුණු දැක්වීය.

ඉතිහාසය,සම්ප්‍රදාය,සංස්කෘතිය සහ දෙරට අතර ඇති පොදු සමානකම් රාශියකි. දෙරටේ ජනතාවගේ අන්‍යෝන්‍ය ප්‍රයෝජනය සඳහා ස්වෛරීභාවය,සමානාත්මතාවය,මිත්‍රත්වය,විශ්වාසය සහ අවබෝධය මත පදනම් වූ ප්‍රායෝගික හා පරිණත ප්‍රවේශයකින් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඔවුන්ගේ ස්ථිර විශ්වාසය වර්ධනය කෙරෙහි මෙහි දී අවධානය යොමුවිය.

කොවිඩ්- 19 වසංගතය පාලනය කිරීමට ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ක්‍රියාකාරීත්වය අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය මෙහි දී අගය කළාය. ‘සාක් කොවිඩ් -19 හදිසි අරමුදල’ යටතේ ශ්‍රී ලංකාවට කොවිඩ් -19 ආශ්‍රිත වෛද්‍ය උපාංග ලබාදීම සඳහා බංග්ලාදේශය දක්වන සහයෝගයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රණාමය පුද කළේය.

වසංගතය පැවති සමයේ සිය රටවල සංක්‍රමණික ජනතාව වෙත ලබා දුන් කොන්සියුලර් හා නැවත මෙරටට ගෙන්වා ගැනීමේ සේවාවන් අග්‍රාමාත්‍ය දෙපළගේ ඇගැයීමට ලක්වූහ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මහජන හිතවාදී නායකත්වය,යටිතල පහසුකම් සංවර්ධනය සහ ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා වූ වැදගත් පියවරයන් මෙන්ම නායකත්වයේ දැක්ම අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිගේ ඇගයීමට ලක්වූවාය.

ජාතික සමගිය,සංහිඳියාව සහ සංවර්ධනය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැඩි උත්සාහයක් ගත් බව ඇය පැසසුවාය. නායකයෝ දෙපළ දෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය නගා සිටුවීමේ ක්‍රියාවලිය එකිනෙකාට අගය කළහ.

පසුගිය දශකය තුළ බංග්ලාදේශයේ සිදු වූ දැවැන්ත සමාජ ආර්ථික සංවර්ධනය සහ ආහාර ස්වයංපෝෂිතභාවය,දරිද්‍රතාවය තුරන් කිරීම,බලශක්ති උත්පාදනය,කෘෂිකර්මාන්තය,ග්‍රාමීය සංවර්ධනය,කාර්මිකකරණය,සේවා අංශය,තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය,ඩිජිටල්කරණය සහ ආපදා කළමනාකරණය අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මියගේ දූරදර්ශී නායකත්වය යටතේ සිදුවිය. ඒ හා බැඳී පවතින අග්‍රාමාත්‍යතුමියගේ කාන්තා සවිබල ගැන්වීම,දේශගුණික විපර්යාස අනුහුරුවීම,යටිතල පහසුකම් සංවර්ධනය සහ අධ්‍යාපනය යනාදිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පැසසුමට ලක් විය.

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා අඛණ්ඩව සහයෝගය දැක්වීම පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ෂෙයික් හසීනා අගමැතිනියට සහ බංග්ලාදේශ රජයට මෙහිදී සිය ස්තූතිය පුද කළේය.

මේ සමඟ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (UNHRC) ඇතුළු ජාත්‍යන්තර වේදිකාවලදී,එක්සත් ජාතීන්ගේ ආයතන සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන තුළ ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීම පිළිබඳව ද අගමැතිනියට ස්තූතිය පුද කළේය.

ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයේදී බංග්ලාදේශය ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරනු ඇතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී විශ්වාසය පළ කළේය.

රාඛයින් ප්‍රාන්තයේ අවතැන් වූ මිලියන 1.1 ක් වූ රෝහින්ග්‍යා වැසියන්ට රැකවරණය හා මානුෂීය ආධාර සැපයීම සම්බන්ධයෙන් බංග්ලාදේශ අගමැතිනියගේ ත්‍යාගශීලීභාවය මෙම සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අගය කළේය.
ස්වේච්ඡාවෙන්,ආරක්ෂිතව,කඩිනමින්,ගෞරවනීයව හා තිරසාරව රෝහින්ග්‍යා වැසියන් තම මව්බිමට නැවත පැමිණීමේ වැදගත්කම දෙරටේම අගමැතිවරු අවධාරණය කළහ.

අසල්වැසි රටවල අවතැන්වූවන් සඳහා ශ්‍රී ලංකාව නිවාස සපයන අතර,අනුමත නීතිමය රාමු සහ නියමිත ක්‍රියා පටිපාටිවලට අනුකූලව කටයුතු කරයි. සෑම විටම ගැටලු විසඳීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටියි. රෝහින්ග්‍යා අර්බුදය විසඳීම සඳහා බංග්ලාදේශයට සහාය දෙන ලෙස බංග්ලාදේශ අගමැතිනිය විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් මෙහි දී ඉල්ලීමක් කළා ය.

ත‍්‍රස්තවාදය,ප‍්‍රචණ්ඩ අන්තවාදය සහ රැඩිකල්කරණය හේතුවෙන් පැන නගින බහුත්වවාදී සමාජවලට ඇති තර්ජන හඳුනාගත් නායකයන් දෙදෙනා රටවල්,කලාපය සහ ඉන් ඔබ්බෙහි එවැනි අභියෝගයන්ට මුහුණ දීම සඳහා එක්ව කටයුතු කිරීමට පොරොන්දු වූහ.

මෙම සංකීර්ණ,හවුල් ආරක්ෂක අභියෝගයන්ට මුහුණ දීම සඳහා ද්විපාර්ශවික සහයෝගීතාවයට පහසුකම් සැලසීම සඳහා ඒකාබද්ධ ආයතනික යාන්ත්‍රණයක් සැකසීමට කටයුතු කිරීමට ඔවුහු එකඟ වූහ.

ත‍්‍රස්තවාදය සහ ප‍්‍රචණ්ඩ අන්තවාදයට එරෙහි බංග්ලාදේශයේ අත්දැකීම් ‘සමස්ත සමාජයේ’ ප‍්‍රවේශයක් හරහා බෙදා ගැනීමට බංග්ලාදේශ අගමැතිනිය ඉදිරිපත් වූවාය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළුව ඉහළ මට්ටමේ සහයෝගිතාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා මෙහි දී අවධාරණය කළ අතර බංග්ලාදේශ-ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පිහිටුවීම පිළිබඳව සඳහන් කරමින් නායකයන් දෙදෙනා අලුතින් තේරී පත් වූ මන්ත්‍රීවරුන් සමඟ පාර්ලිමේන්තු සංගමය යාවත්කාලීන කිරීමටත් දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා ව්‍යවස්ථාදායකය දිරිමත් කිරීමටත් එකඟ වූහ.

සමස්ත ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කිරීම සඳහා විදේශ කාර්යාල උපදේශන (එෆ්.ඔ.සී),ඒකාබද්ධ ආර්ථික කොමිෂම (ජේ.ඊ.සී),ආංශික ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම් (ජේ.ඩබ්ලිව්.ජී),ඒකාබද්ධ වැඩසටහන් / වැඩ සැලසුම් ඇතුළුව දෙරට අතර පවත්නා ආයතනික යාන්ත්‍රණයන් යළි පණගැන්වීමේ අවශ්‍යතාව පිළිබඳව නායකයෝ දෙදෙනාම මෙහි දී අවධාරණය කළහ.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා නිරන්තරයෙන් අධීක්ෂණය කිරීමේ අරමුණින් දෙරටේ විදේශ අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් සහයෝගීතාව සඳහා ඒකාබද්ධ උපදේශන කොමිෂමක් පිහිටුවීමට නායකයන් දෙදෙනා එකඟ වූහ. මේ සම්බන්ධ අවබෝධතා ගිවිසුමට අදාළ කෙටුම්පත කඩිනමින් බංග්ලාදේශ රජය විසින් ඉදිරිපත් කරනු ඇත.

ද්වීපාර්ශ්වික නිදහස් වෙළඳ ගිවිසුමක් (FTA) කරා යාම සඳහා දෙරට අතර අත්සන් කර ඇති ආර්ථික හවුල්කාරිත්වය පිළිබඳ අවබෝධතා ගිවිසුම ගැන සඳහන් කරමින් නායකයන් දෙදෙනා ද්විපාර්ශ්වික වෙළඳාමේ පවතින සහජීවනය උපයෝගී කර ගැනීම සඳහා (එෆ්ටීඒ) හි පූර්ව නිගමනයකට එළඹීමට ඇති කැපවීම අවධාරණය කළහ.

මේ සඳහා FTA පිළිබඳ ඒකාබද්ධ ශක්‍යතා අධ්‍යයනය වහාම අවසන් කිරීමට නායකයන් දෙදෙනා එකඟ වූහ. මේ අතර FTA හි පළමු පියවර ලෙස කෙටි නිෂ්පාදන ලැයිස්තුවෙන් ආරම්භ වන ද්විපාර්ශ්වික වරණීය වෙළඳ ගිවිසුමක් (පීටීඒ) සඳහා කටයුතු කිරීමට ඔවුහු එකඟ වූහ.

එමගින් අනාගතයේ දී පුළුල් වෙළඳාමක්,ආයෝජන සහ සංචාරක ව්‍යාපාරයක් සඳහා අවස්ථා විවෘත කළ හැකිය.

වෙළඳාම පිළිබඳ (ජේ.ඩබ්ලිව්.ජී) හි මීළඟ රැස්වීම නුදුරු දිනකදීම පැවැත්වීමට දෙපාර්ශවයම එකඟ වූහ.

තීරුබදු රහිත බාධක හඳුනා ගැනීම සහ ඉවත් කිරීම සහ අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත් ප්‍රමිතීන් සරල කිරීම හා එකඟ කිරීම ඇතුළුව වෙළඳ පහසුකම් සඳහා පියවර ගැනීමට දෙපාර්ශ්වයම එකඟ වූහ.

වෙළඳාම් කළ හැකි භාණ්ඩ විවිධාංගීකරණය කිරීමටත් වෙළඳ හා වාණිජ සබඳතාවලට නැවුම් ශක්තියක් එක් කිරීමට නව්‍ය ක්‍රම සොයා ගැනීමටත් දෙපාර්ශ්වයම එකඟ වූහ.

මෙහි දී දෙපාර්ශවයම එකිනෙකාගේ සෘණාත්මක ලැයිස්තුවලින් SAFTA යටතේ ඇති අයිතම ගණන තවදුරටත් අඩු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළහ.

මෙම තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ බංග්ලාදේශ ප්‍රමිති සහ පරීක්ෂණ ආයතනය (බී.එස්.ටී.අයි) සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (එස්.එල්.එස්.අයි) අතර අවබෝධතා ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවධාරණය කෙරිණි.

ඖෂධ අංශයේ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාවය සඳහන් කරමින් අග්‍රාමාත්‍යවරු දෙදෙනාම බංග්ලාදේශයෙන් ගුණාත්මක ඖෂධ නිෂ්පාදන වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමටත් බංග්ලාදේශ ඖෂධ නිෂ්පාදන සඳහා ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලි සරල සහ කඩිනම් කිරීමටත් එකඟ වූහ.

නැව්ගත කිරීම් අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක හා සහයෝගීතාවක් ඇතිවන අකාරයට ප්‍රධාන වශයෙන් ප්‍රවර්ධන කළ හැකි බව අවධාරණය කළ නායකයින් දෙපළ එමඟින් සම්බන්ධතා වැඩිදියුණු කළ හැකි බව පෙන්වා දුන්හ.

දෙරට අතර සහ ඉන් ඔබ්බට ද්විපාර්ශවික වෙළඳාම සඳහා තවත් අවස්ථා විවෘත වන බව මෙහිදී සාකච්ඡා කළහ.

වෙරළබඩ නැව්ගත කිරීමේ ගිවිසුම හා චිතගොං සහ කොළඹ අතර පෝෂක සේවා පිළිබඳ සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටි (එස්ඕපී) කෙටුම්පත පිළිබඳ සාකච්ඡා දියුණු මට්ටමක පවතින බව නිරීක්ෂණය කළ ඔවුහු එම කටයුතු ඉක්මණින් අවසන් කිරීමට එකඟ වූහ. ඉතිරිව ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා නැව් හා නැව් ලේකම් මට්ටමේ සාකච්ඡා ආසන්නතම දිනකදී පැවැත්වීමට ද උපදෙස් දුන්හ.

දෙපාර්ශවයේම අන්‍යෝන්‍ය ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකා ව්‍යාපාරික ආයතන ගණනාවක් බංග්ලාදේශයේ ආයෝජනය කර ඇති බව දෙපාර්ශවයම සතුටින් සිහිපත් කළහ.

රෙදිපිළි,ගෙතුම් ඇඳුම්(ලිනන්),සම්,ඖෂධ, කෘෂි පාදක කර්මාන්ත සහ වානේ සහ ඉංජිනේරු,තොරතුරු තාක්ෂණ,අධ්‍යාපනය,සෞඛ්‍යය සහ ආගන්තුක සත්කාර යන අංශ සඳහා ශ්‍රී ලංකාවේ ආයෝජන වැඩි වශයෙන් බංග්ලාදේශය විසින් පිළිගෙන ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඖෂධ හා අගය එකතු කළ ඇඟලුම්,ආහාර සැකසුම්,සැපයුම්,සංචාරක හා තොරතුරු තාක්ෂණ සේවා යන අංශයන්හි ශ්‍රී ලංකාවේ නව අවස්ථා පැහැදිලි කරමින් ඒ සඳහා බංග්ලාදේශ ව්‍යාපාරික අංශයට ආරාධනා කළේය.

ද්විපාර්ශවික ආයෝජන ප්‍රවර්ධනය සහ ආරක්ෂණ ගිවිසුම් පිළිබඳව නායකයෝ දෙදෙනාම අවධානය යොමු කළහ.

දෙරටේ පෞද්ගලික අංශය මෙන්ම විශේෂයෙන් ඉහළ පෙළේ ඇඟලුම් හා රෙදිපිළි,තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය සහ අදාළ දැනුම,හණ නිෂ්පාදන,ආගමික හා පරිසර සංචාරක කටයුතු,මැණික් වැනි ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගීතාවය පුළුල් කිරීම නායකයෝ දෙපළ මෙහි දී හඳුනා ගනු ලැබූහ.

ස්වර්ණාභරණ සහ වටිනා ලෝහ,කෘෂිකාර්මික හා කෘෂි සැකසුම්,ධීවර – පශු සම්පත් – කිරි උද්‍යාන විද්‍යාව,සෞඛ්‍ය කළමනාකරණය,යටිතල පහසුකම් සංවර්ධනය හා ඉදිකිරීම්,ඖෂධ,බලශක්තිය සහ හවුල් ව්‍යාපාර පිළිබඳව රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වය තුළින් දෙරටේ ආයෝජනවලට ප්‍රතිලාභ ලැබිය හැකි බව ඔවුහු අවධාරණය කළහ.

ආයෝජන වාසි සහ ප්‍රතිඵල මත පදනම් වූ සහයෝගීතාව සඳහා වැඩි සංවාදයක් සඳහා ඔවුන් දෙරටේ ආංශික කර්මාන්ත,කර්මාන්ත සංගම්,මණ්ඩල ආදිය දිරිමත් කිරීමට අවධානය යොමු කළහ.

ඇඟලුම් කර්මාන්තය පිළිබඳ දෙරටේ අත්දැකීම් සැලකිල්ලට ගනිමින් නායකයින් දෙදෙනා චිතගොං විලාසිතා හා තාක්ෂණ ආයතනය සහ ශ්‍රී ලංකා රෙදිපිළි හා ඇඟලුම් ආයතනය අතර අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ පසු විපරමක යෙදුනහ.

ශ්‍රී ලංකා වෘත්තිකයින් සහ නිෂ්පාදන හා සේවා අංශයන්හි වෘත්තිකයින් සැලකිය යුතු ප්‍රමාණයක් මේ සඳහා සහභාගී වීම පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බංග්ලාදේශ රජයට ස්තූති කළේය.

දෙරට අතර පහසුවෙන් ගමන් කිරීමට පහසුකම් සැලසීමට කටයුතු කිරීමට නායකයෝ දෙදෙනා එකඟ වූහ.

පුළුල් ආර්ථික හවුල්කාරිත්වයේ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා දෙරට අතර රේගු සහයෝගීතාව පිළිබඳ ගිවිසුම අලුත් කිරීම ගැන නායක දෙපළ අදාළ බලධාරීන්ට නියම කළහ.

බංග්ලාදේශ ආයෝජන සංවර්ධන අධිකාරිය (BIDA) සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) අතර අවබෝධතා ගිවිසුම භාවිතා කරමින් අදාළ විශේෂ ආර්ථික කලාප,කාර්මික උද්‍යාන,අධි තාක්‍ෂණික උද්‍යාන ආදියෙහි අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ආයෝජන සඳහා පහසුකම් සැලසීමට දෙපාර්ශ්වයම එකඟ වූහ.

ආයෝජන, SWAP සහ තාක්ෂණික ගැටළු සම්බන්ධයෙන් සමීපව සහයෝගයෙන් කටයුතු කරන ලෙස ඔවුන්ගේ මහ බැංකු සහ වෙනත් මූල්‍ය ආයතනවලින් ඉල්ලා සිටීමට නායක දෙපළ එකඟ වූහ.

ලෝකයේ ඉහළම තොරතුරු තාක්‍ෂණ සේවාවන්හි බාහිර සේවා සපයන ගමනාන්තයන් ලෙස දෙරටම දියුණු කිරීමේ සාධනීය තත්ත්වයන් ගැන සඳහන් කරමින් නායකයින් දෙදෙනා වෙළඳපල තරගකාරිත්වය තවදුරටත් පුළුල් කිරීම සඳහා ක්ෂේත්‍රයේ අදාළ තරගකාරී වාසි සහ විශේෂ දැනුම භාවිතා කිරීම සඳහා දෙරටේ කර්මාන්ත දිරිමත් කිරීමට එකඟ වූහ.

පාර්ශවකරුවන් අතර වැඩි සහයෝගීතාවයක් හා හවුල්කාරිත්වයක් ඇති කිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හා ඒ ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ රැස්වීම පැවැත්වීමට ද එකඟ විය.

දෙරටේ නාවික නෞකාවල පුහුණුව හා සුහඳ චාරිකා හුවමාරු කර ගැනීම තුළින් ආරක්ෂක ක්‍ෂේත්‍රයේ අඛණ්ඩ සහයෝගීතාවය පිළිබඳව දෙපාර්ශ්වයම සඳහන් කළහ.

උසස් අධ්‍යාපනයේ සහයෝගීතාවය හඳුනාගත් නායකයෝ දෙදෙනා බංග්ලාදේශයේ සහ ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා අතර අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවධාරණය කළහ. ඒ මත පදනම්ව,ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ උසස් අධ්‍යාපන ආයතන අතර සමීප සහයෝගීතාවයට පහසුකම් සැලසීමට දෙපාර්ශවයම එකඟ වූහ.

රජයේ වෛද්‍ය හා දන්ත වෛද්‍ය විද්‍යාලවල වෛද්‍ය හා දන්ත අධ්‍යයන ඇතුළු උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා ශ්‍රී ලංකා සිසුන්ට බංග්ලාදේශය ලබා දෙන ශිෂ්‍යත්ව හා පහසුකම් ශ්‍රී ලංකාව අගය කළේය.

ශ්‍රී ලංකාවේ සිසුන්ට ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ප්‍රයෝජනයට ගත හැකි වන පරිදි වෛද්‍ය හා දන්ත වෛද්‍ය විද්‍යාල පිළිගැනීමේ ගැටලුව කඩිනමින් විසඳන ලෙස නායකයන් දෙදෙනාම අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්හ.

බංග්ලාදේශ හෙදියන් සහ අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයින් පුහුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව දක්වන සහයෝගය බංග්ලාදේශය අගය කළේය.

ජන විකාශන පැතිකඩ සහ රටාවන් හඳුනා ගනිමින් දෙපාර්ශ්වයම කුසලතා හා මානව සම්පත් සංවර්ධනය සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමටත් නව්‍ය හවුල්කාරිත්වයන් දිරිමත් කිරීමටත් එකඟ වූහ.

තරුණ සංවර්ධනය ශක්තිමත් කිරීම සඳහා වන සහයෝගිතාව පිළිබඳ දෙරට අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිණි.

දෙරට අතර සමුද්‍රීය කටයුතුවල සහ නිල් ආර්ථිකයේ සහයෝගීතාවය හඳුනාගත් නායකයින් දෙදෙනා බෙංගාල බොක්ක,සාමය,සංවර්ධනය හා සමෘද්ධිය ඇති කලාපයක් බවට පත්කිරීමේ අවස්ථාවන් උපයෝගී කර ගැනීම සඳහා නව ක්ෂේත්‍ර සහ නව්‍ය ක්‍රම ගවේෂණය කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට එකඟ වූහ.

ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා ශ්‍රී ලංකාවෙන් සහය ලබා ගැනීමට බංග්ලාදේශ පාර්ශවය කැමැත්ත පළ කළේය. ඉන්දියානු සාගර සංගමයේ (IORA) ශ්‍රී ලංකාවේ නායකත්ව කාර්යභාරය බංග්ලාදේශ අගමැතිනිය අගය කළාය.

2021-2023 කාල සීමාව සඳහා එම සංගමයේ සභාපතිත්වය භාර ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා බංග්ලාදේශයට සුබ පැතුවේය.

සංචාරක හා වෙළඳාම ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩි දියුණු කරන ලද ගුවන් සම්බන්ධතාවයේ වැදගත්කම වටහා ගත් දෙපාර්ශ්වය, දෙරට අතර ගුවන් ගමනා ගමන ඉල්ලුම සපුරාලීම සඳහා ආසන්න දිනයකදී කොළඹ- බංග්ලාදේශ අතර නව ගුවන් ගමන් ආරම්භ කිරීමට එකඟ වූහ.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා බංග්ලාදේශයේ කෘෂිකාර්මික අංශයේ සහ මිරිදිය ධීවර කර්මාන්තයේ දියුණුවට සහය දීමට එකඟ වූ අතර බංග්ලාදේශයේ අත්දැකීම්වලින් ප්‍රයෝජන ගැනීමට ද කැමැත්ත පළ කළේය.

කෘෂිකාර්මික සැකසුම්,කෘෂි ව්‍යාපාර,තාක්‍ෂණික නවෝත්පාදන,දෙරටේ පෞද්ගලික අංශය සම්බන්ධ කර ගනිමින් සැපයුම් දාම සංවර්ධනය සමඟ සහයෝගයෙන් කෘෂිකාර්මික කටයුතු සඳහා පුළුල් සහයෝගීතාවයක් ඇති කිරීම සඳහා අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඔවුහු අවධාරණය කළහ.

කෘෂිකාර්මික ව්‍යාප්තිය,පුහුණුවීම්,වී ගොවිතැනට අදාළ නවෝත්පාදනයන් සහ බංග්ලාදේශයේ මිරිදිය ධීවර කර්මාන්තය පිළිබඳ නිරාවරණ චාරිකා / පුහුණුවීම් සඳහා ශ්‍රී ලංකාවේ නියෝජිතයින්ට සත්කාරකත්වය සැපයීමට බංග්ලාදේශය ඉදිරිපත් විය.

බංග්ලාදේශ කෘෂිකාර්මික පර්යේෂණ කවුන්සිලය (BARC) සහ ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ හා ප්‍රතිපත්ති කවුන්සිලය (SLCARP) 2011 දී අත්සන් කරන ලද වැඩ සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිළිබඳව දෙපාර්ශ්වයම අවධාරණය කළහ.
බංග්ලාදේශ කෘෂිකාර්මික පර්යේෂණ ආයතනය (BARC) සහ ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති කවුන්සිලය (SLCARP) අතර අවබෝධතා ගිවිසුම අලුත් කිරීම පිළිබඳව දෙපාර්ශ්වයම පිළිගත් අතර එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට හා පසු විපරම් කිරීමට එකඟ වූහ.

දේශගුණික විපර්යාස පිළිබඳ ජාතීන්ගේ සංසදයේ (CVF) සභාපතිවරයා ලෙස දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීමේ බංග්ලාදේශ නායකත්ව කාර්යභාරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අගය කළ අතර 2019 ඔක්තෝම්බර් මාසයේදී කොළඹදී අවසන් කරන ලද තිරසාර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ කොළඹ ප්‍රකාශයට එක්වන ලෙස බංග්ලාදේශයට ආරාධනා කළේය.

දෙරටේ දේශගුණික අවදානම පිළිබඳ පොදු අභියෝගයන්ට මුහුණ දීම සඳහා CVF හි එක්ව කටයුතු කිරීමට නායකයෝ එකඟ වූහ. ආපදා කළමනාකරණය සහ දේශගුණික විපර්යාස සඳහා අනුහුරුවීමේ හැකියාවන් පිළිබඳ සිය දැනුම,විශේෂතාව සහ පළපුරුද්ද ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීමට බංග්ලාදේශය ඉදිරිපත් විය.

දෙරටේ ජනතාව අතර වැඩෙන අන්තර් ක්‍රියාකාරිත්වය පිළිගත් නායකයන් දෙපළ විශේෂයෙන් සංස්කෘතික,හුවමාරු වැඩසටහන උපයෝගී කර ගනිමින් ජනතාව අතර සම්බන්ධතා හා සංස්කෘතික හුවමාරුව තවදුරටත් ශක්තිමත් කිරීමට එකඟ වූහ.

සංචාරක කර්මාන්තයේ විශේෂයෙන් කලාපීය සංචාරක ව්‍යාපාරය සැලකිල්ලට ගනිමින් නායකයින් දෙදෙනා සංචාරක ක්‍රියාකරුවන් සහ දෙරටේ ආශ්‍රිත ආගන්තුක සත්කාර අංශයේ පාර්ශවකරුවන් සම්බන්ධ කර ගනිමින් සංචාරක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට එකඟ වූහ.

සංචාරක,අලෙවිකරණ සහ ප්‍රවර්ධන කටයුතු,බෞද්ධ සංචාර සහ පෞද්ගලික අංශ පිළිබඳව මෙම හමුවේ දී විශේෂයෙන් අවධානය යොමු විය.

දෙරට අතර සංචාරක කටයුතු සඳහා මගී නෞකා ක්‍රියාත්මක කිරීමේ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට බංග්ලාදේශය යෝජනා කළේය.

තිරසාර සංවර්ධනය සඳහා වන 2030 න්‍යාය පත්‍රය ඵලදායී ලෙස සාක්ෂාත් කර ගැනීම සඳහා අදාළ දැනුම,අදහස්,නව්‍යකරණයන් බෙදාහදා ගැනීමට ඔවුහු එකඟ වූහ.

සමෘද්ධිමත්,සාමකාමී,ස්ථාවර,පරිපූර්ණ සහ තිරසාර දකුණු ආසියානු කලාපයක අවශ්‍යතාවය නායකයින් දෙදෙනා අවධාරණය කළහ.

විවිධ උප කලාපීය සහ කලාපීය සහයෝගීතා යාන්ත්‍රණයන්හි සහයෝගීතාව දියුණු කිරීමට ඔවුහු එකඟ වූහ.

බිම්ස්ටෙක් (BIMSTEC), සාර්ක් ( SAARC) සහ අයෝරා(IORA)හි ඉලක්කගත හා ප්‍රතිඵල මත පදනම් වූ කලාපීය ආර්ථික සහයෝගීතාව සඳහා කටයුතු කිරීමට ද එකඟ වූහ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ SEARO කලාපීය අධ්‍යක්ෂධුරය සඳහා බංග්ලාදේශයේ අපේක්ෂකයාට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ සහයෝගය පළ කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම නිල සංචාරයේ දී පහත දැක්වෙන ද්විපාර්ශ්වික අවබෝධතා අත්සන් කිරීමට හා අලුත් කිරීමට නායකයෝ දෙදෙනා එකඟත්වය පළ කළහ.

01.තරුණ සංවර්ධනය ශක්තිමත් කිරීම සඳහා වන සහයෝගිතාව පිළිබඳ ශ්‍රී ලංකා රජය සහ බංග්ලාදේශ රජය අතර අවබෝධතා ගිවිසුම

02. ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති කවුන්සිලය සහ බංග්ලාදේශ කෘෂිකාර්මික පර්යේෂණ සභාව අතර අවබෝධතා ගිවිසුම

03. ශ්‍රී ලංකා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) සහ වෘත්තීය සුදුසුකම් පිළිබඳ ප්‍රලේඛන හුවමාරුව පිළිබඳ මහජන බංග්ලාදේශ අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්මික අධ්‍යාපන ආයතනය (DTE) අතර අවබෝධතා ගිවිසුම

04. බංග්ලාදේශ හෙදියන් සහ සෞඛ්‍ය සේවකයින් ශ්‍රී ලංකාවේ පුහුණු කිරීම සඳහා සහයෝගය දැක්වීම සඳහා ශ්‍රී ලංකා රජය සහ බංග්ලාදේශ රජය අතර අවබෝධතා ගිවිසුම

05. ලක්ෂ්මන් කදිර්ගාමර් ජාත්‍යන්තර සබඳතා හා උපායමාර්ගික අධ්‍යයන ආයතනය සහ බංග්ලාදේශ ජාත්‍යන්තර හා උපායමාර්ගික අධ්‍යයන ආයතනය අතර සහයෝගීතාව සඳහා අවබෝධතා ගිවිසුම

06. 2021-2025 වසර සඳහා බංග්ලාදේශ රජය සහ ශ්‍රී ලංකා රජය අතර සංස්කෘතික හුවමාරු වැඩසටහන.

දෙරට අතර අත්සන් කර ඇති සියලුම ද්විපාර්ශ්වික අවබෝධතා නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙසත් ඒවා පිළිබඳව පසු විපරම් කරන ලෙසත් නායකයෝ දෙපළ දෙපාර්ශවයේම අදාළ කාර්යාලවලට උපදෙස් දුන්හ.

මාර්තු 20 වැනිදා පස්වරුවේ බංග්ලාදේශ ජනාධිපති අබ්දුල් හමිඩ් මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් එරට ජනාධිපති නිල නිවසේ දී පැවැත්විණි.

මෙම සංචාරයේ දී බංග්ලාදේශ රජය සහ ජනතාව අගමැතිවරයා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිසට දැක්වූ උණුසුම් ආගන්තුක සත්කාරය සහ අනුග්‍රහය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ඇගයීමකට ලක් කළේය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සඳහා 2022 වසරේ දී 50 වසරක් සැපිරීම නිමිත්තෙන් පැවැත්වෙන සංවත්සරයට සමගාමීව ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයකට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී අගමැතිනි ෂෙයික් හසීනා මහත්මියට ආරාධනා කළේය. අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය එම ආරාධනය පිළිගත්තාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *