ප්‍රදීප් ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) –සළුසල සහ ලක්සල සභාපති මෙන්ම ලංකාපුවත් ජාතික ප්‍රවෘත්ති නියෝජිතායතනයේ හිටපු සභාපතිවරයෙක් වූ ප්‍රදීප් ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි. මිය යන විට ගුණවර්ධන මහතා 59වැනි වියෙහි පසු විය.

කොරෝනා වෛරසය ආසාදිතව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මෙලෙස අභාවප්‍රාප්ත වී තිබේ.

වෘත්තියෙන් ඉංජිනේරුවෙකුවන ප්‍රදීප් ගුණවර්ධන මහතා, අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයාව සිට 2007 වර්ෂයේ ශ්‍රී ලංකාවට පැමිණ කළක් එවකට නියෝජ්‍ය ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා මහතාගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කළේය.

අනතුරුව ලංකාපුවත්හි සභාපති ලෙස ද ඒ මහතාව පත් කෙරුණි. එහිදී ජනමාධ්‍ය අමාත්‍යංශයේ ද උපදෙස් පරිදි ශ්‍රී ලංකාවේ පළමුවරට සිංහළ, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම ලංකාපුවත් වෙබ් අඩවිය ආරම්භ කරමින් රජයේ සංවර්ධන ක්‍රියාදාමය හා යුදමය වාතාවරණයේ දී නිරවද්‍යවූ පුවත් වාර්තාකරණයක් සදහා දක්ෂ ලෙස ආයතනය දියුණු කරමින් ලාභදායී මට්ටමට ගෙන ඒමට ඒ මහතා ක්‍රියා කළේය. මීට අමතරව ශ්‍රී ලංකාවේ පළමු වරට ලංකාපවුත් කෙටිපණිවුඩ පුවත් සේවාව, මොබිටෙල් ආයතනය සම එක්ව හදුන්වා දීමට ද කටයුතු කරන ලදි.

2009වසරේ දී ශ්‍රී ලංකා වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ සභාපති ලෙස පත්වුනු ප්‍රදීප් ගුණවර්ධන මහතා රජයේ සේවකයන්ට මොබිටෙල් උපහාර පැකේජය ලබා දීමට ද මුල් විය. ඒ අනුව ආයතනය ලාභ ලබන තත්ත්වයට පත්කිරීමට නව ව්‍යාපාරික මං පෙත් විවර කිරීමට ද හැකිවිය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපතිවරයා ලෙස ද ඔහු කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථාන ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහරගම ප්‍රධාන ආසන සංවිධායක ලෙස ඒ මහතා කටයුතු කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *