(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලාංකික සමාජය පෙර අත්නොවිඳි අභියෝගයන්ට මුහුණ දුන් අවස්ථාවන්වලදී ජාතික ආර්ථිකය ස්ථාවරව පවත්වා ගැනීමට සුවිසල් දායකත්වයක් ලබා දුන් ජනහද හඳුනන මහජන බැංකුවට රටේ ජනතාව ආදරය කරන බව මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (28) අරලියග මන්දිරයේ දී පැවසීය.
මහජන බැංකුවේ නව ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ අවස්ථාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ අරලියගහ මන්දිරයේ සිට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.
වසර 44ක් තිස්සේ චිත්තම්පලම් එම් ගාඩ්නර් මාවතේ පිහිටි කාර්යාල ප්‍රධාන කාර්යාලය ලෙස භාවිතා කළ මහජන බැංකුව, සියයට සියයක් හරිත සංකල්පය යටතේ භූගත මහල් 03 කින් සහ මහල් 23 කින් සමන්විත නව ප්‍රධාන කාර්යාලය අති නවීන පහසුකම්වලින් සමන්විතව කොළඹ ඉබ්බන්වල හංදියට නුදුරින් ඉදිකිරීම් අද දින මෙසේ ආරම්භ විය.
මුල්ගල් තබන අවස්ථාව වීඩියෝ තාක්ෂණය ඔස්සේ නැරඹූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා නවීන තාක්ෂණයෙන් එහි සමරු ඵලකය නිරාවරණය කළේය.