නව කොරෝනා ප්‍රභේද හඳුන්වාදීමට ග්‍රීක අක්ෂර යොදාගනියි

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වයිරසයේ නව ප්‍රභේද නම් කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබේ.

බ්‍රිතන්‍යයෙන්, දකුණු අප්‍රිකාවෙන් හා ඉන්දියාවෙන් හමුවූ කොරෝනා වයිරස නව ප්‍රභේද හැඳින්වීමට මෙම නව නාමකරණය හඳුන්වා දී ඇත. ඒ සඳහා ග්‍රීක අක්ෂර යොදාගෙන ඇත.

බ්‍රිතාන්‍ය ප්‍රභේදය හැඳින්වීම‌ට ‘ඇල්ෆා’ අක්ෂරය ද දකුණු අප්‍රිකා ප්‍රභේදයට ‘බීටා’ අක්ෂරය ද ඉන්දියානු නව ප්‍රභේදය හැඳින්වීමට ‘ඩෙල්ටා’ අක්ෂරය ද යොදාගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි.

මෙම නව නාමකරණය තුළින් නව වයිරස ප්‍රභේදයන් හැඳින්වීමේ දී මතුවන ගැටලුකාරී තත්ත්වය වළක්වාලිය හැකි බව එම සංවිධානය පවසයි.

එම වෛරස ප්‍රභේද, ඒවා මුල්වරට හඳුනාගත් රටේ නමින් හැඳින්වීම හේතුවෙන් රටට ඇතිවන අපකීර්තිය වැළැක්වීමටත්, වෛරස ප්‍රභේද සම්බන්ධයෙන් කතාබහ සරල කිරීමටත් මෙමඟින් අපේක්ෂා කෙරේ.

ඉන්දියාවෙන් මුල් වරට හඳුනාගත් වෛරස ප්‍රභේදය මින් පෙර නිල වශයෙන් නම්කර තිබුණේ B.1.617.2 ලෙසයි.
එහෙත් එම ප්‍රභේදය “ඉන්දීය ප්‍රභේදය” ලෙසින් හැඳින්වීම තුළින් අපහසුතාවට පත්වූ බවට ඉන්දීය රජය ප්‍රකාශ කර තිබුනි.

නව වෛරස ප්‍රභේදයක් හඳුනාගැනීම හෝ එම ප්‍රභේදය සම්බන්ධයෙන් වාර්තා කිරීම තුළින් කිසිදු රටක් අපහසුතාවට පත්නොවිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *