ගැබිනි කතුන්ට කොවිඩ් එන්නත දීමට අනුමැතිය හිමි වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ගැබිනි කාන්තාවන්ට කොවිඩ් – 19 වයිරසය මර්දන එන්නත දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ එන්නත්කරණය පිළිබඳ මෙහෙයුම් කමිටුවේ අනුමැතිය හිමි වූ බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.

කොවිඩ් මර්දන එන්නත ගැබිනි කතුන්ට දීම සම්බන්ධයෙන් චක්‍රලේඛයක් මේ වන විට සකස් කරමින් ඇතැයිද ඒ මහත්මිය ප්‍රකාශ කළාය.

නිදන්ගත රෝගවලින් පෙළෙන සංකූලතා පවතින ගැබිනි කතුන්ට ප්‍රමුඛතාව දෙමින් මේ එන්නත දීම කරන බවද ඇය කියා සිටියාය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහත්මිය මේ බව ඊයේ (2) පැවසුවාය.

ගැබිනි කතුන්ට කොවිඩ් මර්දන එන්නත්කරණයට ලක් කරන විට සියලු මව්වරුන් එන්නත්කරණයට ලක් කරනවාට වඩා එන්නත් හිඟයද සලකා බලමින් එන්නත දිය යුතු අත්‍යවශ්‍ය කතුන්ට පමණක් දීම කරන්නේ යැයිද ඇය පැවසුවාය.

කොවිඩ් වයිරසය ආසාදනය වීම නිසා පෙරේදා (1) දින කළුබෝවිල රෝහලේදී ගැබිනි කාන්තාවක් මරණයට පත්වීමත් සමඟ කොවිඩ් හේතුවෙන් මාතෘ මරණ 7ක් සිදුව ඇති බවද වෛද්‍යවරිය කීවාය.

ගර්භිණි කාන්තාවන්ට කොවිඩ් වයිරසයෙන් වැඩි බලපෑමක් ඇති වන අතර, අත්‍යවශ්‍ය කරුණකට හැර තමා ජීවත් වන නිවෙසෙන් පිටතට නොයෑමට වග බලා ගත යුතු බවත් වසංගතයක් පවතින මේ අවස්ථාවේදී ගැබිනි මවට ආරක්ෂිතම ස්ථානය වනුයේ තමන්ගේ නිවෙස බවත් ඒ මහත්මිය පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *