කටුනායක ගුවන් තොටුපළේ දුරස්ථ යාත්‍රාංගණය හා බැහැරුම් පථ ඉදිකිරීම් සැප්තැම්බරයේ අවසන්

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් වසංගතය තත්ත්වය යටතේ වුව ද රටේ සංවර්ධනය අඩාල කිරීමට රජය සුදානම් නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

මේ නිසා දැනට රට තුළ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති ඉදිරියටත් ක්‍රියාත්මක වන බවත් අලුතින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන සංවර්ධන ව්‍යාපෘති නියමිත පරිදි ආරම්භ කෙරෙන බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

ජනතාව පීඩාවට පත් කරමින් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට රජය සුදානම් නොමැති බව ද අවධාරණය කරන ඇමති ප්‍රසන්න රණතුංග මහතා වත්මන් රජය සියලු සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ ජනතා අවශ්‍යතාවන්ට ප්‍රමුඛතාව දෙමින් බව ද කියා සිටි. මේ වන විට රට තුළ ක්‍රියාත්මක මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති අධික්ෂණය සදහා විශේෂ වැඩපිළිවෙලක් ද ආරම්භ කර ඇතැයි පැවසු ඇමතිවරයා මුදල් අමාත්‍යාංශය හරහා එම ව්‍යාපෘතිවල ප්‍රගතිය අධීක්ෂණ කොට කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට කටයුතු කර ඇතැයි ද කීවේය. එම ව්‍යාපෘති කඩිනම් කිරීම එහි අරමුණ බව ද ඔහු පෙන්වා දුන්නේය.

කටුනායක ගුවන් තොටුපළ පුළුල් කිරීම යටතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීම සදහා පසුගිය සිකුරාදා (21) පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය. කටුනායක ගුවන්තොටුපළේ ක්‍රියාත්මක පැකේජ A හා B ව්‍යාපෘති වල ප්‍රගතිය මෙහි දි විමසා බැලිණ.

කටුනායක ගුවන් තොටුපළේ දුරස්ථ යාත්‍රාංගණය හා බැහැරුම් පථ ඉදිකිරීම් වලින් සමන්විත පැකේජ B ව්‍යාපෘතියේ වැඩ කටයුතු 93.85% ක් අවසන් බවත්, ලබන සැප්තැම්බර් මාසය වන විට එහි කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කෙරෙන බවත් මෙහි දී අනාවරණය කෙරිණි.

මෙම ව්‍යාපෘතිය සදහා ජපන් යෙන් 1,152,273,761 සහ ශ්‍රී ලංකා රුපියල් 4,456,377,248 ක මුදලක් යොදවා තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ දි මෙහි ඉදිකිරීම් සදහා මූලික සැලසුම් සැකසුණ ද මෙහි ඉදිකිරීම් ආරම්භ වුයේ 2017 වසරේදියි. වසර දෙකහමාරකින් එහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතව තිබුණ ද පසුගිය රජයේ නිසි අධික්ෂණයක් නොමැතිවීමෙන් එහි කටයුතු ප්‍රමාද විය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයට පත් වීමෙන් අනතුරුව සංචාරක හා ගුවන්සේවා ඇමතිවරයා ලෙස පත් වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා සති දෙකකට වරක් මෙහි ප්‍රගතිය විමසා බැලීමට පෞද්ගලිකවම කටයුතු කළ අතර ඒ අනුව මෙහි ඉදිකිරීම් යළි වේගවත් වී මේ වන විට එය අවසන් අදියරට ලගා වී ඇතැයි රැස්වීමේ දි අනාවරණය විය.

කටුනායක ගුවන් තොටුපළ පැකේජ A ව්‍යාපෘතිය යටතේ නව මගී පර්යන්තයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ද 2014 වසරේ දි හිටපු ජනාධිපති වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ ආරම්භ කෙරුණකි. එහි ඉදිකිරීම් ද පසුගිය යහපාලන රජය විසින් ප්‍රමාද කළ අතර එය නැවත ආරම්භ කෙරුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් අනතුරුවයි. ඒ සදහා වැය කෙරෙන මුදල ජපන් යෙන් 41,553,891,286 ක් හා ශ්‍රී ලංකා රුපියල් 35,135,843,333 කි. මෙහි ඉදිකිරීම් කටයුතු ද මේ වන විට ක්‍රියාත්මක ව පවතී. එහි ඉදිකිරීම් කාලය වසර 03 කි.

පැකේජ A ව්‍යාපෘතිය ද නියමිත කාලයේ දි අවසන් කිරීමට කටයුතු කරන ලෙස මෙම සාකච්ඡාවේ දී උපදෙස් දුන් ඇමතිවරයා එහි ඉදිකිරීම් ප්‍රමාද වීම සදහා කිසිදු ඉඩක් නොතබන ලෙස ද උපදෙස් දුන්නේය. කොවිඩ් තත්ත්වය මත පවතින සංචරණ සීමා හා සෞඛ්‍ය මාර්ගෝපදේශ මත ඉදිකිරීම් වල දී ඇතිවිය හැකි ප්‍රමාදයන් වළක්වාලීම සදහා ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම සෘජුව මැදිහත්විය යුතු බවත් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නිරන්තර අධික්ෂණයකින් කටයුතු කිරීම ඔවුන්ගේ වගකීමක් බවත් ඇමතිවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

සංචාරක අමාත්‍යාංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි, ගුවන් තොටුපළ හා අපනයන සැකසුම් කළාප රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මාධව දේව සුරේන්ද්‍ර, අතිරේක ලේකම් සුනිල් ගුණවර්ධන, ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජි.ඒ. චන්ද්‍රසිරි, උපසභාපති රජීව් සූරියආරච්චි, කොන්ත්‍රාත්කාර ජපන් සමාගම් නියෝජිතයෝ ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *