කුෂිනගර් අන්තර්ජාතික ගුවන්තොටුපොළට පළමු යානය ශ්‍රී ලංකාවෙන්

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාවේ කුෂිනගර් ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස ප්‍රකාශයට පත් කළ වහාම ඒ දක්වා පියාසර කරන පළමු වන්දනාකරුවන්ගේ ගුවන් යානය ශ්‍රී ලංකාවෙන් පැමිණෙනු ඇතැයි බලාපොරොත්තුවන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා පැවසීය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ද පසුගිය ද්විපාර්ශ්වික සමුළුවේ දී මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබිණි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා, අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන් අතර අරලියගහ මන්දිරයේ ඊයේ (04) පවැති හමුවේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා එසේ ප්‍රකාශ කළේය.

මෙම හමුව ආරම්භයේ දී ම ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ පෞද්ගලික සුබ පැතුම් සහ ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතාගේ සුබ පැතුම් අගමැතිවරයා හමුවේ තැබීය.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම උදෙසා දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘති හා සංචාරක ව්‍යාපාරය, බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය ඇතුළු අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය වන අංශ ගණනාවක් පිළිබඳ මෙම හමුවේ දී සාකච්ඡාවට ලක්විය.

බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම උදෙසා මෝදි අගමැතිවරයා ගත් පියවර මෙහි දී අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඇගයීමට ලක් වූ අතර එය අගැමැති මෝදිගේ ප්‍රමුඛතම කාර්යක් වූ බව ෂ්‍රිංග්ලා මහතා විශ්වාසය පළ කළේය.

ඉන්දු- ශ්‍රී ලංකා අගමැතිවරුන් අතර පසුගිය වසරේ පැවති මාර්ගගත ද්විපාර්ශ්වික සමුළුව අවසානයේ දී රටවල් දෙකෙහි ජනතාව අතර පවතින ගැඹුරු සබඳතාව ශක්තිමත් කිරීම උදෙසා ඉන්දීය අගමැතිවරයා විසින් බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 15ක ප්‍රදානයක් ප්‍රකාශයට පත් කරන ලදි.

සංචාරක ව්‍යාපාරය නැවත නඟා සිටුවීම පිළිබඳ ද මෙම හමුවේ දී අවධානය යොමු වූ අතර රටවල් දෙකෙහිම එන්නත්කරණ ක්‍රියාවලිය ඉතා හොඳින් ක්‍රියාත්මක වන නිසා නැවත සබඳතා ආරම්භ කිරීමේ වැදගත්කම පිළිබඳ ෂ්‍රිංග්ලා මහතා අවධාරණය කළේය.

කොවිඩ් වසංගතයට පෙර ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව සමස්ත සංචාරකයන්ගෙන් සියයට 18ක ප්‍රතිශතයක් ඉක්ව වූ අතර ඉන්දියාව ශ්‍රී ලංකාවේ ඉහළ සංචාරක ප්‍රභවයකි.

ඉන්දීය විදේශ ලේකම්වරයා ශ්‍රී ලංකාවේ සිව්දින නිල සංචාරයකට එක්ව සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *