පැළ රෝපණයට දිස්ත්‍රික්ක 07කට රුපියල් මිලියන 09ක්

(ලංකාපුවත් | කොළඹ) – හුස්ම දෙන තුරු ජාතික රුක් රෝපණ වැඩ සටහන යටතේ ඉදිරි මාස දෙක තුළ පැළ රෝපණය සඳහා දිස්ත්‍රික්ක 07කට රුපියල් මිලියන 09ක මුදලක් ලබා දිමට පරිසර අමාතයංශය පියවර ගෙන ඇත.

ඒ අනුව මේ වසරේ නොවැම්බර්.දෙසැම්බර් මාස සඳහා මොනරාගල දිස්ත්‍රික්කයට රු.මි. 01ක්, කෑගල්ල රු. මි. 1.2ක්, ත්‍රිකුණාමලය රු.මි. 1.5ක්, හම්බන්තොට රු. මි. 1.5ක්, බදුල්ල රු. මි. 01ක්, කොළඹ රු. මි. 1.2ක්, හා ගම්පහ රු. මි. 1.5ක් වශයෙන් රුපියල් මිලියන 09ක මුදලක් හුස්ම දෙන තුරු වැඩ සටහන යටතේ රුක් රෝපණයට වෙන් කර තිබේ.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්ව යෙන් ඊයේ(28) හුස්ම දෙනතුරු ජාතික රුක් රෝපණ වැඩ සටහනේ ප්‍රගතිය පිළිබඳව පරිසර අමාත්‍යාංශයේ දී පැවැත්වූ ප්‍රගති සමාලෝචන රැස්විමේදී මෙම කරුණු අනාවරණය විය.

දිවයින පුරා රුක්ගහණය ඉහළ නැංවීමේ අරමුණින් පරිසර අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇති හුස්ම දෙන තුරු ජාතික රුක්රෝපණ වැඩ සටහන යටතේ පැළ ලක්ෂ 15ක් ඉක්මවා මේ වනවිට රෝපණය කිරීමට හැකි ව තිබේ.

මෙයට සමගාමීව ආරම්භ වූ පසුගිය සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් ක්‍රියාත්මක කරන ලද නැකතට පැළයක් රුක්රෝපණ වැඩ පිළිවෙළ යටතේ දිවයින පුරා පැළ ලක්ෂ 10ක් ඉක්මවා රෝපණය කර තිබේ. ඊට අමතරව පෙම්වතුන්ගේ දිනය, ලෝක පරිසර දිනය මෙන්ම පුද්ගලික අංශයේ සහයෝගය ඇතිව ඉහල ජලාධාර ප්‍රදේශවල පැළ රෝපණය හා මහවැලි ගං ඉවුරු දෙපස කුඹුක් හා මී පැළ 187,000 රෝපණය කිරීම මෙන්ම මී පැළ 50,000ක් රෝපණය කිරීමඇතුළු වැඩ සටහන්වලින් තවත් පැළ ලක්ෂ 05ක් ඉක්මවා රෝපණය කරනු ලැබීය. එමෙන්ම යුද හමුදා දිනය නිමිත්තෙන් ද දිවයිනේ ස්ථාන 10ක දී පැළ 10,000ක් රෝපණය කරනු ලැබීය.

එමෙන්ම මේ වනවිට ආගමික ස්ථාන ආශ්‍රිතව ඔසු වන වැඩ සටහන යටතේ ස්ථාන 120ක ඔසු වන ආරම්භ කිරීම හුස්ම දෙනතුරු වැඩ සටහන යටතේ ක්‍රියාත්මක කෙරිණි.

එළඹී ඇති වැසි සමය සමග නැවත වරක් හුස්ම දෙන තුරු වැඩ සටහන යටතේ පැළ රෝපණය කිරීම සඳහා පියවර ගන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම සාකච්ඡාවේදී නිළධාරින්ට උපදෙස් ලබා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *