චීන පොහොර නැවේ ප්‍රශ්නය රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් නොවේ – ශ්‍රී ලංකාවේ චීන තානාපති කියයි

(ලංකාපුවත් | කොළඹ) –චීන කාබනික පොහොර නැව හා සම්බන්ධ ප්‍රශ්නය වාණිජ ගැටලුවක් මිස රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් නොවන බවත් එය ශ්‍රී ලංකාවේ සුළු පිරිසක් විසින් දේශපාලනීකරණය කර තිබෙන බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්‍යු ෂෙන් හොන්ග් (Qi Zhen hong) මහතා පවසයි.

මේ සම්බන්ධව ව්‍යාජ ප්‍රවෘත්ති පළ වීම නිසා ප්‍රශ්නය සංකීර්ණ වී තිබෙන බව ද ඒ මහතා කීය.

අස්ගිරි මහා විහාරයට පැමිණ එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහානාහිමියන් බැහැදැක ආශිර්වාද ගැනීමෙන් පසු ඊයේ (14) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. අදාළ පොහොර තොගයට අදාළ සාම්පලයක් තුන්වන පාර්ශ්වයක් ලවා පරීක්ෂාවට ලක් කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් සහ චීන සමාගම එකඟතාවකට පැමිණ තිබෙන්නේ යැයිද හෙතෙම පැවසුවේය.

ශ්‍රී ලංකාවේ ජනතාව චීන පොහොර නැව සම්බන්ධව විශේෂ අවධානයෙන් පසු වන බවත් මෙය චීන පොහොර සමාගමක් හා පවතින වාණිජමය ගැටලුවක් මිස රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් නොවන බවත් ඒ මහතා කීය.

මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික මුරුද්දෙණියේ ධම්මරතන නාහිමියෝ ද සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *