(ලංකාපුවත් | කොළඹ) –ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය ශ්‍රී ලංකා ශ්‍රේණිගත කිරීම පහත හෙළීම ගැන රජය දැඩි විරෝධය පළ කරයි.
සමස්ත ලෝකයම කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් වී ඇති අවස්ථාවක ඊට සටන් වදිමින් ශ්‍රී ලංකාවේ සිදු වන ධනාත්මක වර්ධනය හඳුනා ගැනීමට අසමත් වී ඇති බව මහ බැංකුවේ අධිපති අජිඩ් නිවාඩ් කබ්රාල් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළීම 2022 වර්ෂය සඳහා වන අයවැය වාර්තාව ප්‍රකාශයට පත්කිරීමට දින කිහිපයකට පෙර, මූඩීස් ආයෝජන සේවාව කළ අසාධාරණ ණය ශ්‍රේණිගත කිරීම හා සමාන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණයක කරයි. විශේෂයෙන්ම ආර්ථිකයේ සියලු අංශවල නව ප්රවණතා සහ නුදුරේ දී ලැබීමට නියමිත විදේශ විනිමය ප්‍රවාහ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් ෆිච් ආයතනය වෙත නිරන්තරයෙන් කළ යාවත්කාලීන කිරීම පිළිබඳ සැලකිල්ලට ගත් කල, ශ්‍රී ලංකා ශ්‍රේණිගත කිරීම පහත හෙළීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතනයකට මතු වූ හදිසි අවශ්‍යතාව තේරුම්ගත නොහැකි බව විශේෂ ප්‍රකාශයක් කරමින් මහ බැංකුව ප්‍රකාශ කරයි.
2022 වර්ෂය සඳහා වන අයවැය වාර්තාව මඟින් හඳුන්වා දුන් මූල්‍ය ප්‍රතිසංස්කරණ සඳහා නිසි පිළිගැනීමක් දීමට ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය අසමත් වී තිබෙන අතර නව බදු ක්‍රියාමාර්ග හඳුන්වා දීමත්, බදු පරිපාලනය පද්ධතියේ වැඩි දියුණු කිරීමත් සමඟ ආර්ථිකයේ පුනර්ජීවනය තුළින් 2022 වසරේ දී රජයේ ආදායමේ සැලකිය යුතු වැඩිවීමක් අපේක්ෂා කරයි. ඉදිරි මාසවල දී ණය ගෙවීම් පැහැර හැරීමට ඇති සම්භාවිතාව ඉහළ ගොස් ඇතැයි ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය කරන ලද පදනම් විරහිත ප්‍රකාශවලට පටහැනිව, රජය සහ මහ බැංකුව මිත්‍ර ජාතීන්ගෙන් අරමුදල් සපයා ගැනීම සඳහා සහාය ලබා ගැනීමට ගන්නා ක්‍රියාමාර්ග ඵලදායි වෙමින් පවතින අතර, එමඟින් ඉදිරි කාලය තුළදී ගෙවුම් ශේෂය මත පීඩනය සමනය කිරීමට හැකි වේ.
සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායිතාව සහතික කිරීම සඳහා ඉදිරිපත් කළ සය මාසික පෙර දැක්ම මඟින් 2021 වසරේ දෙසැම්බර් මස වන විට සහ 2022 වසරේ මාර්තු මස වන විට අපේක්ෂිත මුදල් ප්‍රවාහ ගලා ඒම් පිළිබඳ පැහැදිලිව ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙම ගලා ඒම් නියත වශයෙන් ලැබෙන බවටත්, 2021 වසර අවසානය වන විට දළ නිල සංචිත මට්ටම එක්සත් ජනපද ඩොලර් බිලියන 3කට වඩා ඉහළින් පවතිනු ඇති බවටත් රජය සහ මහ බැංකුව විශ්වාසය පළ කරයි. ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය චීන මහජන බැංකුව සමඟ ඇති ඩොලර් බිලියන 1.5ක් පමණ වන ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම් පහසුකම සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇති බව පෙනෙන අතර, එම පහසුකම ප්‍රයෝජනයට ගැනීමට නියමිතව පවතින බවද මෙම තීරණයට එළඹීමේ දී ඉන්දියාව සහ මැද පෙරදිග හා අනෙකුත් කලාපීය ආර්ථිකයන් සමඟ පැවති ඉහළ තලයේ රැස්වීම්වලින් පසුව බලාපොරොත්තු වන ණය පහසුකම් සහ අනෙකුත් මුදල් ප්‍රවාහ ගලා ඒම් පිළිබඳ ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය නිසි අවධානය යොමු කර නොමැති බවද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.
ශ්‍රේණිගත කිරීමේ නිරවද්‍ය බව පරීක්ෂා කළ හැකි ප්‍රථම දිනය වන 2021 වසරේ දෙසැම්බර් 31 දින තෙක් නොසිට ශ්‍රී ලංකා ශ්‍රේණිගත කිරීම පහත හෙළීමට ෆිච් ආයතනය තීරණය කිරීමෙන් අන් කිසිවක් නොව ඔවුන්ගේ නොසැලකිලිමත්කම පෙන්නුම් කරන බවද මෙම පහත හෙළීම මත පදනම්ව තීරණ ගැනීමෙන් ආයෝජයන්ට සිදු විය හැක්කේ හානියක් පමණක් බව පවසන ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරි කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාව සියලු ණය සේවාකරණ ගෙවීම් කරන බවට රජය පැහැදිලි සහතිකයක් දී ඇති අතර, පසුගිය වසර දෙකක කාලය තුළ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇති වූ දැඩි ආර්ථික පීඩන තත්ත්ව යටතේ පවා ශ්‍රී ලංකාව එකදු ගෙවීමක් හෝ ප්‍රමාදකර නොමැති බවද සඳහන් කරයි.
එබැවින්, මෙම සාධාරණ නොවූ ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාවෙන් අධෛර්යට පත් නොවන ලෙසත්, ඒ වෙනුවට ඉදිරි දින කිහිපය තුළ පහව යෑමට අපේක්ෂිත කැළඹිලි සහිත ස්වභාවය සමනය කිරීමට ශ්‍රී ලංකාව සමඟ කටයුතු කරන ලෙසත් ජාත්‍යන්තර ආයෝජන හවුල්කරුවන් ඇතුළු ආර්ථිකයේ සියලුම පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලීමක් කරන ශ්‍රී ලංකා මහ බැංකුව සය මාසික පෙර දැක්මෙහි බලාපොරොත්තු වූ පරිදි අපේක්ෂිත විදේශ විනිමය ලැබීම්වල ප්‍රගතිය පිළිබඳ සවිස්තරාත්මකව මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරන බවද කියා සිටී.