ශ්‍රී පාද වන්දනා සමය ඇරැඹේ

(ලංකාපුවත් | කොළඹ) –මෙවර ශ්‍රී පාද වන්දනා වාරය සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව උදුවප් පුන් පොහෝ දිනය යෙදුණු පෙරේදා (18) ආරම්භ කළ බව ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝනායක,ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ පැවසූහ.

පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රාජමහා විහාරස්ථානයේ සිට රත්නපුර අවිස්සාවේල්ල හැටන් මාර්ගය ඔස්සේත් බළන්ගොඩ බගවන්තලාව මාර්ගය ඔස්සෙත් රත්නපුර පලාබද්දල සහ රජමාවත ඔස්සේත් රත්නපුර කුරුවිට එරත්න මාර්ගය ඔස්සෙත් සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රී පාද මළුව වෙත වැඩම කරනු ලැබීය.

චාරිත්‍රානුකූලව ශ්‍රී පාද පද්මය පෙරේදා (18) අලුයම යෙදුණු සුභ නැකතට සුවඳ පැනින් දෝවනය කිරීමෙන් අනතුරුව සධාතුක කරඬුව,සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ තැන්පත් කිරීම සිදුවිය.

රත්නපුර කුරුවිට යුද හමුදා කඳවුරේ නිලධාරීන් සහ භට පිරිස් විසින් සධාතුක කරඬුව,සමන් දේව ප්‍රතිමාව රත්නපුර රජමාවත හා කුරුවිට එරත්න මාර්ග ඔස්සේ ශ්‍රී පාද උඩ මළුව දක්වා වැඩම කරනු ලැබීය. හැටන් මාර්ගය ඔස්සේ වැඩම කළ දේවාභරණ සහ පූජා භාණ්ඩ නල්ලතන්නිය සිට ශ්‍රී පාද උඩ මළුව දක්වා වැඩම කරවාගෙන පැමිණියේ ලක්ෂපාන යුද හමුදා කඳවුරේ නිලධාරින් විසිනි.

නිරෝධායන මාර්ග උපදෙස්වලට අනුකූලව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ශ්‍රී පාද උඩ මළුව වෙත පැමිණ සිටි වන්දනාකරුවන් පිරිසක් සහභාගි කර ගනිමින් ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් ශ්‍රී පාද පද්මය අසල චාරිත්‍රානුකූලව ආගමික වතාවන් පැවැත්වීමෙන් පසු මෙවර ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ විය.

නිරෝධායන උපදෙස් පිළිපදිමින් පරිසරය රැක ගනිමින් ශ්‍රි පාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස සලකා සිරිපා කරුණා කිරීමට පැමිණෙන ලෙස ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ මෙහිදී වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *