ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දී ඉන්දීය ධීවරයින් 12ක් අත්අඩංගුවට

(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරමට දකුණු දෙසින් වු ශ්‍රි ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාව තුලට ඇතුළුවී අනවසර ධීවර කටයුතු සිදුකරමින් සිටි තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් සමඟ ඉන්දීය ජාතික ධීවරයින් 12ක් ඊයේ(19) නාවික හමුදා භාරයට ගෙන තිබේ.

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත වෙරලබඩ මුර යාත්‍රාවන් යොදවා මන්නාරමට දකුණු දෙසින් වු ශ්‍රි ලංකාවට අයත් මුහුදු තීරයේ මෙම විශේෂ මෙහෙයුම සිදු කර ඇත.

විදෙස් ධීවරයින් විසින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරන ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව පසුගිය 18 සහ 19 දෙදින උතුරු සහ උතුරු මැද නාවික විධානයන් මඟින් සිදු කළ මෙහෙයුම් මඟින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 08ක් සහ ඉන්දීය ජාතික ධීවරයින් 55 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කළ මෙම මෙහෙයුම මගින් මන්නාරම දකුණු මුහුදු තීරයේදී නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ජාතික ධීවරයින් ක්ෂණික ප්‍රතිදේහ පරීක්‍ෂණ සඳහා යොමු කිරීමෙන් පසු ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාල අංශ වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට විදෙස් ධීවරයින් ඇතුළුවී සිදුකරනු ලබන අනවසර ධීවර කටයුතු මැඩපැවැත්වීම උදෙසා නාවික හමුදාව අඛණ්ඩව මෙහෙයුම් සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *