ස්වයංපෝෂිත රටක් වෙනුවෙන් සැවොම අත්වැල් බැඳගනිමු

(කොළඹ | ලංකාපුවත්) – අභිමානවත් දේශයක් බිහි කිරීමට සැවොම එකා මෙන් අත්වැල් බැඳ ගනිමු යැයි සිංහල දෙමළ අලුත් අවුරුදු දින සුබපැතුම් පණිවිඩය එක් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. එම සුබපැතුම් පණිවිඩයේ මෙසේද සඳහන් වේ.

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ලෝකවාසී මෙන්ම ලක්වාසී සිංහල සහ දෙමළ ජනතාව ඉතාමත් ප්‍රීතියෙන් සමරන උත්සව අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය.

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස හැඳින්වෙන මෙදින සියලු දෙනා එකම නැකතක සිට එකම කාර්යයක නියැළෙන අතර මෙකී චාරිත්‍රය නිසාම ලෝකයේ සෙසු රටවල් අතර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඉතා ප්‍රචලිතව තිබේ.

සියලු ජනතාව මෙදින තමන්ට හැකි උපරිම අයුරින් මෙකී චාරිත්‍ර ඉටු කරන්නේ ඉදිරි වසරේ සෞභාග්‍යය සහ සශ්‍රීකත්වය අපේක්ෂාවෙනි. නමුත් පසුගිය කාලවකවානුව ලක්වාසී ජනතාවට එතරම් හොඳ කාලවකවානුවක් නොවූ බව මා විශ්වාස කරමි. බදු බර වැඩි වීම, බඩු මිල ඉහළ යෑම, රටේ අභ්‍යන්තර අර්බුද ආදි ගැටලු රාශියකට රට මුහුණදුන් අතර මේ වන විට මැතිවරණ වසරක් ද උදා වී තිබේ. මේ වසරේ ජනතාව අපේක්ෂා කරන පාලනයක් රට තුළ බිහි වී නැවතත් අප මාතෘභූමියට සෞභාග්‍යය උදාවනු ඇති බව මාගේ විශ්වාසයයි.

එසේම පවතින බංකොලොත්භාවයෙන් මිදී නැවතත් ස්වයංපෝෂිත ආර්ථික රටාවක් සහිත රටක් ලෙස අප රට පත් කර සාමය, සතුට, සැනසීම සහිත අභිමානවත් දේශයක් බිහි කිරීමට සැවොම එකා මෙන් අත්වැල් බැඳ ගැනීමට ද කාලය එළැඹ තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *